කොළඹ වරායේ නව බහාලූ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම ඇරඹේ

Share

නව බහාලූ මෙහෙයුම් මධ්‍යස්ථානයකට මුල් ගල තැබීම අද (04) කොළඹ වරාය, සමගි බහාලූ පර්‍යන්ත පරිශ්‍රයේ දී  වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

 

කොළඹ වරායේ බහාලූ මෙහෙයුම් මධ්‍යස්ථානයන්හි ගුණාත්මක තත්ත්වය ඉහල නංවාලීමේ අරමුණින් මෙය ඉදි කරනු ලැබේ.

කලාපීය කේන්ද්‍රීය වරායක් ලෙස කොළඹ වරාය ගෝලීය සැපයුම් දාමය සංවර්ධනය කරමින්, ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගතව වරාය සේවා පහසුකම් සංවර්ධනය කිරීමේ සැලැස්මට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

වසරක් ඇතුලත ඉදිකර අවසන් කිරීමට යෝජිත මෙම බහාලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ සාමාන්‍ය නැව් බඩු ගබඩා කිරීම සඳහා වර්ග මීටර 9,500 ක් ද, අන්තරායකර නැව්බඩු ගබඩා කිරීම වෙනුවෙන් වර්ග මීටර 1,060 ක වපසරියකින් ද සමන්විතය.

ජාතික සම්පත් ආරක්ෂා කර ගනිමින් ඒවා අනාගත පරපුර වෙත උරුමකර දීමේ අප රජයේ ප්‍රතිපත්තිය අනුව කොළඹ වරායේ ඉදිරි සංවර්ධනය සැලසුම් කෙරේ.

මෙම අවස්ථාවට,රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ,වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහාතා,රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධම්මික මාතරආරච්චි මහතා,වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා,උප සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතා,වරාය අධිකාරියේ නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Read more

Local News