අතුරුදන් ඉන්දුනීසියානු ගුවන් යානය මුහුදට කඩා වැටිලා

Share

Update : අතුරුදන් වූ ඉන්දුනීසියාවේ බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානය මුහුදට කඩා වැටී ඇති බව ඉන්දුනීසියා ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අනතුරට පත් යානයේ සිටි පුද්ගලයින් තවමත් ජීවතුන් අතර සිටිනවා ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

ලාකි දිවයින ආසන්නයේදී මෙම ගුවන් යානය කඩා වැටෙන විට එය ජකර්තා නුවරින් ගුවන් ගතකර මිනිත්තු කිහිපයක් ගතවූවා පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබිණි.

අධික වර්ෂාව හේතුවෙන් නියමිත කාලයට වඩා විනාඩි 30ක් ප්‍රමාද වී ගුවන්ගත කෙරුණු මෙම යානය රේඩාර් පථයෙන් ගිලිහී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිනිත්තුවකට අඩු කාලක් තුළ මෙම යානය කඩා වැටෙන විට මුහුදු මට්ටමේ සිට අඩි 10,000ක උසකින් යානය පියාසර කරමින් තිබූ බවයි.

විදුලි වේගයෙන් මුහුදට කඩා වැටුණු යානය මුහුදේදී පුපුරා ගිය බව මෙම යානය කඩා වැටෙනු දුටු ධීවරයකු සඳහන් කළේ ය.

අනතුරට පත් වනවිට එම යානය බටහිර කලිමන්තාන් හි පොන්ටියානක් ප්‍රදේශය වෙත පියාසර කරමින් තිබූ බව සඳහන් ය.

යානයේ සිටි සියලු පුද්ගලයින් ඉන්දුනීසියානුවන් වන අතර විපතට පත්වූවන් පිළිබඳ සෙවීමට නෞකා සහ සහන සේවකයන් කණ්ඩායමක් යැවූ බව ඉන්දුනීසියා බලධාරීන් ප්‍රකාශ කළේ ය.

එම යානය අයත් ශ්‍රී විජයා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීයා සඳහන් කළේ, අනතුරට පත්වීමට පෙර යානයේ කිසිදු දෝෂයක් නොපැවති බවයි .

මෙම අනතුර පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට කටයුතු කරන බව බෝයිං ආයතනය සඳහන් කළේ ය.

අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වී අතුරුදන් වූ බෝයිං 737 වර්ගයේ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් ජකාර්තා නුවරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ පස්වරුවේ ජකර්තා අගනුවර සිට බෝර්නියෝ දූපත් බලා පියාසර කිරීම සඳහා ගුවන් ගත වූ යානයක් ගුවන් පාලක මැදිරිය සමග තිබූ සබඳතා බිඳ වැටී ඇත.

අදාළ යානයේ මගීන් 56ක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ගුවන් යානය ජකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කිරීමට ගමන් අරඹා තිබු අතර එලෙස අතුරුදන් වී ඇත්තේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයකි.

Indonesia map

Archive photo of Sriwijaya Air plane on runway in Jakarta

Read more

Local News