පිතිකරුවකු ලැබූ ඉහළම ප්‍රසාද ලකුණු ප්‍රමාණය රැස් කිරිමට විරාට් කෝලි සමත් වෙයි

වසර 1993න් පසුව ජගත් ක්‍රිකට් කවුන්සලයේ ජාත්‍යන්තර එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පිතිකරුවකු ලැබූ ඉහළම ප්‍රසාද ලකුණු ප්‍රමාණය රැස් කිරිමට ඉන්දීය පිලේ නායක විරාට් කෝලි සමත්විය.

පසුගියදා නිමාවට පත්වූ ඉන්දීය – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ කෝලි මේ වාර්තාව අත්කර ගත්තේ ප්‍රසාද ලකුණු 909කට හිමිකම් කියමිනි. මීට පෙර එවැනි දස්කමක් පෑ පිතිකරුවා ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු නායක බ්‍රයන් ලාරා 1993දී එක්දින ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 908ක් ලබා පෙරමුණ ගැනීමට සමත්විය.

වත්මන් එක්දින ශ්‍රේණිගත කිරිම්වල ඉහළම ස්ථානය රැක ගැනීමට අමතරව ඒ.බී. ඩි විලියර්ස් ට පසුව ටෙස්ට් හා එක්දින දෙකේ ම ලකුණු 900 එක විට ම පසුකළ පිතිකරුවා බවට විරාට් කෝලි පත්ව සිටී.

ශ්‍රේණිගත කිරීමේ ලකුණු 876ක සිටිමින් තරග හයකින් සමන්විත දකුණු අප්‍රිකානු එක්දින තරගමාලාව ආරම්භ කළ කෝලි, එය අවසන් කළේ ලකුණු 909කිනි. මේ අනුව ඔහු සචින් ටෙන්ඩුල්කාර්ගේ ලකුණු 887 අභිබවමින් එක්දින තරගවල ශ්‍රේණිගත කිරීමේ ලකුණු 900 පසුකළ පළමු ඉන්දියානු පිතිකරුවා බවටත් පත්විය.

Exit mobile version