ක්‍රිකට් අර්බුද හේතුවෙන් නාමල් හා මහේල ගත් තීරණ

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග පරාජය හා ඒ සමඟ මතුව පවතින අර්බුද හේතුවෙන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර, පැවැති විශේෂ සාකච්ඡාවකදී දැඩි තීන්දු 5ක් ගෙන තිබේ.

 

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම, තරගකාරී අභ්‍යන්තර හා පළාත් තරගාවලියක් සංවිධාන කිරීම, ක්‍රීඩකයන්ගේ විනය සහ ශාරීරික යෝග්‍යතාවට ප්‍රමුඛත්වයක් දීම, ක්‍රිකට් ක්‍රීඩකයන්ට දක්ෂතා පදනම් කර ගත් කොන්ත්‍රාත් ක්‍රමයක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාගේ සහායට අධ්‍යක්‍ෂවරයකු සහ උපදේශකවරයකු පත් කිරීම මේ සාකච්ඡාවේදී තීරණය වී ඇත.

පිට පිටම ටෙස්ට් තරග 4ක් පරාජය ලැබූ ශ්‍රී ලංකාව අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ හත්වැනි තැනට පත් වූ අතර, නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර හයවැනි ස්ථානයේ සිටියේය.

මේ සංචාර දෙකේදීම අසාර්ථක වූ ක්‍රීඩකයන්ට යළි යළිත් අවස්ථාව දෙමින් තරග බිමට කැඳවීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැඩි විවේචන එල්ල වූ අතර, මේ තත්ත්වය මැද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය.

ඒ මහතා ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පරාජයෙන් පසුව කණ්ඩායමේ කළමනාකාරීත්වයෙන් ද ඉල්ලා අස් විය.

ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩකයන්ගේ විනය සහ ශාරීරික යෝග්‍යතාවට ප්‍රමුඛත්වයක් දීමට විශේෂ අවධානයක් යොමු කිරීම ද විචාරකයන්ගේ ප්‍රශංසාවට හේතු වී තිබේ.

දකුණු අප්‍රිකාවේදී හා ගාල්ලේදී ජාතික ක්‍රිකට් පිලේ තුන් ඉරියව් නවක ක්‍රීඩකයකු සෞඛ්‍ය නිලධාරිනියක සමඟ ඇති වූවා යැයි පැවසෙන අයථා සම්බන්ධතාවක් හා පරාජය වෙමින් පවතින තරගය අතරතුර ක්‍රීඩාගාරයේ ‘කාඩ් සෙල්ලම් කිරීම’ වැනි සිද්ධීන් ගණනාවක් පිළිබඳව ද චෝදනා එල්ල විය.

Read more

Local News