ලෝක ශ්‍රවණ දිනය අදයි

බිහිරි බව නිසා ජනතාවට සිදුවන අපහසුතා වළක්වාගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මාර්තු මස 03 වන දින ලෝක ශ්‍රවණ දිනය වශයෙන් නම්කර ඇත.

කන් ඇසීමේ වැදගත්කම් සහ කන බිහිරි බවින් වළක්වාගන්නේ කෙසේද යන්න පිළිබද ජනතාව දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවයක්ව පවතී. ලෝක ජනතාවගෙන් සීයට දහයක් කන්ඇසීමේ දුර්වලතා වලින් පෙළෙයි. ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සදහා ලොව පුරා වැඩසටහන් පැවැත්වෙයි.

අද දිනට යෙදෙන ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේදී උගුර කන නාසය පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් රාගම රෝහලේ උගුර කන නාසය පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය යසස් වීරක්කොඩි මහතා පැවසුවේ බිහිරි බව නිසා සන්නිවේදන අපහසුතාවයත් ඇතිවනවා සේම බිහිරි බව අඛණ්ඩව පැවතීමෙන් මතක ශක්තිය නැතිවී යා හැකි බවයි. බිහිරි බවට හේතු වන වළක්වාගත හැකි හේතු රාශියක් පවතී. එම හේතු පිළිබදව ජනතාව දැනුවත් කිරීම සහ දැනුවත් කිරීම තුළින් බිහිරි බව අඩුකර ගැනීම ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන් අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ මූලිකම අරමුණ බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

බිහිරි බව ඇති වීම වළක්වාගැනීම සදහා කළයුතු සහ නොකළ යුතු දෑ පිළිබදව දැනුවත්වීම වැදගත් වෙයි. ජාතික ශ්‍රවණ දිනය වෙනුවෙන් කන සම්බන්ධව නොකළ යුතු දෑ පැහැදිලි කරමින් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවසුවේ අප රටේ ජනතාව කන කැසීමට කොට්න් බඩ්, කන් හැදි, ආයා කටු, යතුරුකටු, යතුරු, ඇගිලි, කුකුල් පිහාටු, තුත්තිරිගස් ආදී නානාප්‍රකාර දෑ භාවිතා කරන අතර ඒවා මගින් කනට හානි පැමිණිය හැකි බවයි. කොට්න් බඩ් භාවිතය අහිතකර වන අතර එහි ඇති පුළුල් කැබලි කන ඇතුලත සිරවිය හැකි අතරම එය භාවිතයෙන් කනේ ඇති කලාදුරු ඇතුලට තල්ලුවීමක්ද සිදුවිය හැකි බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

කන කැසීම සදහා තනි ටිෂූ කඩදාසියක් අතින් රෝල් කර කන තුළට දැමීම ඉතාම යෝග්‍ය බව පෙන්වාදුන් වෛද්‍යතුමිය කනෙහි කලාදුරු ගල්වී ඇති නම් ඔලිව් තෙල් හෝ ග්ලිසරින් භාවිතා කිරීම සුදුසු බවද පැවසුවාය. අධික ශබ්දයෙන් කන් ආරක්ෂා කරගැනීම වැදගත් බවද වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

දරුවෙකුගේ උපතේ සිටම ශ්‍රවණය පිළිබදව අවදානය යොමු කිරීම වැදගත් වෙයි. දරුවා ශබ්ද වලට ඇහුන්කම්දෙයිද ප්‍රතිචාර දක්වන්නේද යන්න පිළිබදව මවුවරුන් විශේෂ අවදානයක් යොමුකළ යුතුය. ශල්‍ය වෛද්‍ය සංගමය විසින් ඉපදුණු විගස බිළිදුන්ගේ ශ්‍රවණය පරීක්ෂා කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කරගෙන යන අතර නොබෝ කාලයේදී ඉපදෙන සෑම දරුවෙකුගේම ශ්‍රවණය රෝහලෙන් පිටවීමට ප්‍රථම පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙයි.

කන රැකගැනීමට කළයුතු දේ සම්බන්ධව පැහැදිලි කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කාය ව්‍යවච්ඡේද අංශයේ ජ්‍යෙෂ්ට කතිකාචාර්ය, උගුර කන නාසය පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සිතාරා දිසානායක මහත්මිය පැවසුවේ කනෙහි ආබාධයක් ඇතිනම් රිදුමක්, ඝෝෂාවක්, කරකැවිල්ලක්, දුගදක් ඇති ශ්‍රාවයක් ඇතිවිය හැකි බවයි.

සමහර ශ්‍රවණ ඌනතා ඖෂධ මගින් සුව කළ හැකි අතර ඇතැම් ශ්‍රවණ ඌනතා සදහා ශ්‍රවණාධාර පැළදීම අවශ්‍ය වෙයි. ශ්‍රවණාධාර පැළදීමේදී වෛද්‍ය නිර්දේශයක් මත ශ්‍රවණාධාර පැළදීම සිදුකළ යුතු අතර වර්තමානයේ ශ්‍රවණාධාර ඉතා කුඩා ප්‍රමාණයේ ඒවාද පවතී.

අධික ශබ්දයක් සහිත ස්ථානයක එනම් කර්මාන්තශාලාවක වාගේ රාජකාරී සිදුකරන පුද්ගලයෙකු නම් කනෙහි ආරක්ෂාව සදහා කන ආරක්ෂා කරන උපකරණ පැළදිය යුතු බව වෛද්‍යතුමිය කියා සිටියාය.

කනට වතුර නොයන ලෙස කන ආරක්ධා කරගැනීම වැදගත් බවද ඒ සදහා කන් ඇබ භාවිතා කිරීම යෝග්‍ය බවද වෛද්‍යතුමිය අවධාරණය කළේය. භාහිර ද්‍රව්‍යයක් කනෙහි සිර වුවහොත් වෛද්‍යවරයෙතු වෙත ගොස් එය ඉවත් කරගැනීම සුදුසු වන අතර කනෙහි හෝ ශ්‍රවණයෙහි කිසියම් ගැටලුවක් පවතී නම් රෝහල් වල පවත්නා කන සම්බන්ධ සායන වලට අනිවාර්යයෙන් අදාල දිනයන්හිදී යොමුවී ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය වන බව විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.