2020 වසරේ අඩු වූ වෙළෙඳ හිඟය

Share

2020 වසරේ වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් කෝටි 200කින් අඩු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සම්මානිත මහාචාර්ය, දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සදහන් කළේය.

ඒ අපනයන ආදායම අඩු වීමට වඩා ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙසටයි.

කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වසරේදීද (2021) වෙළෙඳ හිඟය අඩු මට්ටමක පවත්වාගෙන යෑමට හැකි වනු ඇති බවට ඒ මහතා වැඩිදුරටත් පවසයි.

විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සමීපව අධීක්ෂණය කරමින් කටයුතු කරන බව පැහැදිලි කළ අධිපතිවරයා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ 2020 වසරේ මැද භාගයේ සිට අඛණ්ඩව ඉහළ යමින් සියයට 5.8ක වාර්ෂික වර්ධනයක් වාර්තා කළ අතර 2021 ජනවාරි මාසයේදී පෙර වසරට සාපේක්ෂව සියයට 16.3කින් තවදුරටත් වර්ධනය වූ බවද අධිපතිවරයා පැවසීය.

දේශීය හා ‍ගෝලීය කොවිඩ් 19 එන්නත්කරණයත් සමඟ සංචාරක අංශය මේ වසරේදී ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විනිමය අනුපාතිකය වරින් වර විචලනයක් වාර්තා කළ අතර විදේශීය විනිමය වෙළෙඳපොළ තුළ එවැනි විචලනයක් ඇතිවීම සඳහා හේතු වූ අහිතකර සමපේක්ෂණයන් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන ඇත. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2020 වසරේදී සියයට 2.6කින් අවප්‍රමාණය වීමෙන් අනතුරුව 2021 වසරේ මේ දක්වා කාලය තුළදී සියයට 4.5කින් අවප්‍රමාණය වී ඇත.

වසර 2021 ජනවාරි වන විට දළ නිල සංචිත ප්‍රමාණය මාස 3.7න ආනයන ආවරණයක් සහිතව එක්සත් ජනපද ඩොලර් බිලියන 4.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

විදේශ මූල්‍යකරණය සුරක්ෂිත කිරීමේ සාකච්ඡා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

තවද රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදුන් ක්‍රියාමාර්ගයන්හි සහාය ලබමින් ණය නොවන විදේශ විනිමය ගලාඒම් ඉහළ යෑමක් අපේක්ෂා කෙරේ.

අහිතකර සමපේක්ෂණයන් මධ්‍යයේ වුවද 2021 වසරේ මේ දක්වා කාලය තුළදී රජයේ සියලුම ණය සේවාකරණ වගකීම් නිසි පරිදි සපුරා ඇති අතර ඉදිරියේදී ද ණය සේවාකරණයේ නොකැළැල් වාර්තාව පවත්වා ගැනීම සඳහා රජය කැප වී සිටින බවද අධිපතිවරයා සදහන් කළේය.

Read more

Local News