ආණ්ඩුව අසත්‍ය සහ මුලාව පතුරවනවා : සමඟි ජන බලවේගය

Share

විපක්ෂ නායක සහ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ ඇතැම් පුද්ගලයින් සමඟ සාකච්ඡා කළ බවට පදනම් විරහිත මාධ්‍ය වාර්තා පළ වී ඇති අතර ඒ පිළිබඳව විවිධාකාර අර්ථකතනද ඉදිපත් කොට තිබේ.

එම පදනම් විරහිත මාධ්‍ය වාර්තා සියල්ලම විපක්ෂ නායකතුමා ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්

ඉතා කෙටි කලක් තුළ නව රජය බරපතල අභ්‍යන්තර සහ බාහිර දෙදරායාම්වලට මුහුණ දී ඇති බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. දිනෙන් දින උග්‍ර අතට හැරෙන විවිධාකාර අර්බුද රැසක ගිලී ඇති මෙම රජය, ජනතා අපේක්ෂාවන් සහමුලින්ම අමතක කොට ස්වකීය බල ව්‍යාප්තිය වෙනුවෙන් පිඹුරුපත් සකසනවා හැරුණුකොට ප්‍රශස්ත රාජ්‍ය පාලනය පිළිබඳව අවධානය යොමු නොකරන බව පෙනෙන්නට තිබේ.

එක් අතකින් කරවටක් ජීවන ප්‍රශ්නද,අනෙක් අතින් තවමත් නිශ්චිත වැඩපිළිවෙළක් නැති කොරෝනා ව්‍යසනයෙන්ද ජනතාව ව්‍යාකූලත්වයටත්, අසරණභාවයටත් පත්ව සිටී. මේ වනවිට පෙරනොවූ විරූ අන්දමේ පරිසර විනාශයක් සිදුවන අතර ආණ්ඩුව දරුවන් අඳින සිතුවමකට පවා බියවී ඇතිවාක් මෙන්ම,ඒ චිත්‍ර ගලවන ව්‍යාපෘතියක ද ඉතා නින්දිත අයුරින් නියැලී සිටී. ඒ අතර ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ චිත්‍රය අදුරු වෙමින් තිබේ. ඉහවහා ගිය වංචාව,දූෂණය මෙන්ම ඥාති හිතමිතුරු සංග්‍රහය අද කරලියට විත් තිබේ.

මේ වනවිට සත්‍යය හෙලිදරව් කරන මාධ්‍ය අරභයා ආණ්ඩුවේ තර්ජනාංගුලිය දිගු වෙමින් තිබේ. 69ලක්ෂය ප්‍රමුඛව සමස්ත පුරවැසියාගේම අපේක්ෂාවන් ආණ්ඩුව සිය අදූරදර්ශි ක්‍රියාපිළිවෙත මගින් බරපතල අගාධයකට තල්ලුකොට ඇති අතර නැගී එන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව විසඳුම් සොයනුයේ බොරුව සහ මිත්‍යාව ජනගත කරමිනි. විපක්ෂ නායකතුමා සහ ආණ්ඩුවට සම්බන්ධ ඇතැමුන් අතර සාකච්ඡා ,හමුවීම් සිදුව ඇති බවට පදනම් විරහිත ප්‍රවෘත්ති නිර්මාණය කිරීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුව පත්ව සිටින පහත් මානසික තත්ත්වයේ සහ ව්‍යාකූලත්වයේ ස්වභාවයයි.

ඉතා කෙටි කලක් තුල ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්ව ඇති අතර, ප්‍රමාණාත්මකව කුඩා නමුත් ගුණාත්මකව ඉහළ විපක්ෂයක කාර්‍යභාරය මෙරට සමස්ත ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව ඉටු කරමින් තිබේ. උග්‍ර අභ්‍යන්තර අර්බූද මැද ඉතා වේගයෙන් සිය ජනප්‍රියත්වය අහිමි කරගනිමින් සිටින වත්මන් රජයේ කිසිවෙකු සමග රහස් සාකච්ඡා කිරීමෙහි අවශ්‍යතාවක් හෝ වේලාවක් විපක්ෂ නායකතුමාට නැති බව නැවත අවධාරණය කරමු. වත්මන් රජයේ බල ව්‍යාපෘතිය ඔවුනටද නොවැටහෙන පරිදි පුපුරාගොස් ඇති අතර එහි ප්‍රතිඵල ඉතා නුදුරේදී ම ජනතාව ඉදිරිපිට දිගහැරෙනු ඇත. අසත්‍ය සහ මුලාව පතුරවමින් සිය නාය යාමට විසදුම් සොයන ආණ්ඩුවට අපි අනුකම්පා කරමු.

විපක්ෂ නායක මාධ්‍ය අංශය

Read more

Local News