පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අද ඇරඹේ

Share

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අද (25) ආරම්භ වීමට නියමිතය.

අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් යල කන්නය වෙනුවෙන් අද දින ගොවිජන සේවා මධ්‍යස්තාන 320ක පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මේ අනූව ජාතික උත්සවය දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පහුරු ඔය ප්‍රදේශයේ අක්කර 140ක කුඹුරු යාය අස්වැද්දීම සිදුකරන බවද පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීමෙන්ය ල කන්නයේ මෙට්‍රික් ටොන් 35,000ක් වී අස්වැන්නට එකතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

සියලු පුරන් කුඹුරු වල ඇළ මාර්ග සුද්ද පවිත්‍ර කර පිළිසකර කර දෙන බවද ගොවි මහතුන් හට අක්කරයකට රුපියල් 25,000 බැගින් පොළී රහිත ණය ලබාදීමට නියමිතය.

මේ සදහා පොහොර, තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර පහසුකම් රජයෙන් නොමිලේ ලබාදීමට නියමිත වන අතර එක් ගොවිජන සේවා බල ප්‍රදේශයක අක්කර 10 බැගින් මේ යටතේ පුරන් කුඹුරු
අස්වැද්දීම අනිවාර්යය කොට ඇත.

පළමු අදියර වශයෙන් අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බවද, ඉන්පසු 22,000ක් ද දෙවන අදියර යටතේ අක්කර 50,000ක්ද පුරන් කුඹුරු අස්වැද්දීමට බලාපොරොත්තු වන බව ද
අමාත්‍යවරයා පැවසුවේය.

මෙම වසරේ සියලු පුරන් කුඹුරු අස්වද්දා පුරන් කුඹුරු කියන එක කෘෂිකර්මාන්තයේ ශබ්දකොශයෙන් ඉවත් කිරීමට මෙන්ම සියලුම කුඹුරු ගොවීන් විසින් අස්වැද්දීමේ වැඩසටහනකට යාමට
බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හාල් හිගයක් පවතින බවට සහ හාල් මිල වැඩි බවට විවිධාකාරයේ පුවත් පළ වන බව සිහිපත් කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ කන්නයේ හෙක්ටයාර 764,000ක් එනම් වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් වගාකර ඇති අතර යල කන්නය සදහා මිලියන 1.8ක් වගා කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනූව 2021 අවුරුද්දේ වී මෙට්‍රික් ටොන් මිලියන 05ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවය.

මෙය සහල් බවට පරිවර්තනය කළ විට වී මෙට්‍රික් ටොන් මිලියන 03ක් අපට හමුවන බවද මාසික පරිභෝජනය සදහා ජනතාවට වී කිලෝ 195,000ක් අවශ්‍ය වන බවද පැවසුවේය.
වසරක සහල් අවශ්‍ය තාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4කි. ඒ අනූව වී මෙට්‍රික් ටොන් මිලියන 06ක අතිරික්තයක් පවතී. ඒ අනූව වී හිගයක් පවතින බව පවසන ඕනෑම කෙනෙකුට කෘෂිකර්ම
අමාත්‍යවරයා වශයෙන් තමා පිළිතුරු ලබාදීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

රටේ කිසිසේත් සහල් හිගයක් හෝ වී හිගයක් නොමැති බවද කෘෂිකර්ම අමාත්‍යංශය වගාකර ඇති බව මෙන්ම ගොවියාට ඉතාම හොද මිලක් ලැබී ඇතැයිද පොහොර සහනාධාරය ලැබී ඇතැයිද වී සදහා මේ වන විට රුපියල් 55 – 56ක මිලක් ලැබී ඇතැයිද අමාත්‍යවරයා සිහිපත් කළේය.

රටේ සහල් හිගයක් පවතිනවා යැයි කීම එක්තරා මෝල් හිමියන් විසින් සමාජ මාධ්‍ය වලට මුදල් ගෙවා ගොවීන් මාධ්‍ය සාකච්ඡා වලට ගෙන්වමින් සිදුකරන අමූලික බොරුවක් බවද කෘෂිකර්ම
ඇමතිවරයා පැවසුවේය. රටේ කිසිදු සහල් හිගයක් නොමැති අතර අවශ්‍ය පමණට වැඩි අතිරික්තයක්ද පවතින බව කෘෂිකර්ම අමාතයංශය වශයෙන් ප්‍රකාශ කරන බවද පැවසුවේය.

Read more

Local News