පොල්තෙල් සම්බන්ධව අනවශ්‍ය භීතිකාවක් ඇති කර නොගන්න : අමාත්‍ය රමේෂ් පතිරණ

Share

විස රසායනික අඩංගු පොල් තෙල් ලංකාවට ආනයනය කර තිබීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසූවේ, ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය වලට එනම් පොල් තෙල්, පාම් තෙල් හා ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම අඛණ්ඩව නිරීක්ෂණයට ලක් කරමින් එම ආහාර වල තත්ත්ව සාම්පල ගැනීමක් සිදු කරන අතර එම සාම්පල වල තත්ත්වයන්ට නියමිත ප්‍රමිති සහතික ගැනීමෙන් අනතුරුව පමණක් සියලුම ආහාර ද්‍රව්‍ය රට තුළට නිදහස් කිරීමක් සිදු වන බවයි.

අද (30) දිනත් රේගු අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ මෙම කන්ටේනර් මුදා හැර ඇති බවට කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවත් ඒ සඳහා ඉතා පැහැදිළි විගණනයක් සිදුවන බවත්ය.

මෙම පොල් තෙල් තුළ ඇෆ්ලටොක්සින් නැමැති විස ද්‍රව්‍ය අන්තර්ගත බවට පළමු වාර්තාව ලැබුණු පසු එනම් මාර්තු මස (04) වැනිදා රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා විසින් මෙම තෙල් තොගය නිදහස් කිරීම නතර කර තිබෙන වකවානුවේදී දෙවන තත්ත්ව සහතික වාර්තාවද පරීක්ෂාවට ලක් කරන ලද අතර එහිදී ද මෙම පොල් තෙල් ආනයනය කරන ලද අදාළ සමාගම් හතරෙන් තුනකම මෙම විස ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු කර ගෙන ඇත. පළමු අවස්ථාවේදීම මේ සියල්ලම මුද්‍රා තබා වෙළෙඳ පොළට නිකුත් කිරීම ද නවත්වා ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රේගුව දැඩි ලෙස පර්යේෂණ සිදු කරන අතර එම පර්යේෂණ වලින් පසුව ඒ හා සම්බන්ධ වැරදිකරුවෙක් සිටිනවා නම් ඉතා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් මෙම පොල් තෙල් සම්බන්ධව අනවශ්‍ය භීතිකාවක් ඇති කර නොගන්නා ලෙස පැහැදිලිවම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මීට අමතරව දංකොටුව ප්‍රදේශයේදී පොල්තෙල් බවුසර් දෙකක් සැඟවීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමක් පිළිබඳව මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසූවේ, මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව විස සහිත පොල් තෙල් අඩංගු බව්සරයක් මෙතෙක් හමු වී නොමැති බවත් සැක යැයි ලැබී ඇති යම් යම් තොරතුරු ඔස්සේ පර්යේෂණයන් සිදු කරන බවත් විස සහිත පොල් තෙල් අඩංගු බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත්ය.

Read more

Local News