විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 මාර්තු මස 12 වැනි දින සිට 17 වැනි දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි.
මාර්තු මස 13 වැනි දින ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත ජනාධිපති සිරිසේන මහතා මාර්තු මස 14 වැනි දින සමුළු සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය අබේ මහතා මුණගැසෙයි. සාකච්ඡාවලින් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනපතිවරයා වෙනුවෙන් රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ඇත. නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා) අතර යෙන් ණය ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතය.
සිය ජපන් සංචාරයට පෙරාතුව, ජනාධිපති සිරිසේන මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හා ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් යන මහත්වරුන්ගේ ඒකාබද්ධ ආරාධනයෙන්, මාර්තු මස 11 වැනි දින නව දිල්ලියේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජික රටවල ප්‍රථම සමුළුවට සහභාගීවීම සඳහා 2018 මාර්තු මස 10, 11 යන දෙදින තුළ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
රාජ්‍ය නායකයන් හා ඉහළ පෙළේ නියෝජිතයන් තිස් දෙදෙනකුට අධික පිරිසක් මෙම ජාත්‍යන්තර සූර්ය සංධාන සමුළුවට සහභාගීවීමට නියමිතය. ශ්‍රී ලංකාව 2018 පෙබරවාරි 12 වැනි දින ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජිකයකු බවට පත්විය.