පියුමිකා ද සිල්වා කායික රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ රප් කල්ස් විශ්වවිද්‍යාල රෝහලේයි.
වසර හතක කාලයක සිට ඇය එම රෝහලෙහි සේවය කරනවා.
විශේෂයෙන් ගෙවුණු කොවිඩ් වකවානුව තුළ විශේෂඥ වෛද්‍ය පියුමිකා ද සිල්වාගෙන් ඉටු වූයේ ඇති විශාල කාර්යභාරයක්. කොවිඩ් වැළදුන රෝගීන්ට ප්‍රතිකාර කරනවාට අමතරව ඔවුන්ට ආදරය, කරුණාව ලබා දෙමින් රැකබලා ගත්තේ අපේ ශ්‍රී ලාංකික බව අපූරුවට විදහා දක්වමින්.
මේ නිසා අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාගේ විශේෂ ඇගයුමකට ඇය ලක් වුණා.
විශේෂඥ වෛද්‍ය පියුමිකා ද සිල්වාගේ සේවය අගය කරමින් කතා කළ නිව්ජර්සි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පැවසුවේ කොවිඩ් වසංගතය අවසන් වී නොමැති බවයි. එහෙත් එය අවසන් වන තෙක් ඔබව ඇගයීම පමා කළ නොහැකියි. ගෙවුණු මාස දෙකක කාලය තුළ ඉටු කළ සේවය අගය කළ යුතුම බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා.
විශේෂඥ වෛද්‍ය පියුමිකා ද සිල්වාගේ සේවය අගය කරමින් ඇයට එහි දී විශේෂ සම්මානයක් පිරිනැමුණා.
ඇය කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. විශේෂඥ වෛද්‍ය පියුමිකා ද සිල්වාගේ මව සහ පියා ද මෙරට කීර්තිමත් වෛද්‍යවරුන් ලෙස සේවය කරනවා.



