ඉන්දීය ජාතිකයා ලංකාවට ඇවිත් තියෙන්නේ ඔමික්‍රෝන් අරගෙනයි – රවි කුමුදේශ්

Share

ඔමික්‍රෝන් ප්‍රභේදය සමග මෙරටට ඇතුළු වූ ඉන්දියානු ජාතිකයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කරන ප්‍රකාශ අසත්‍ය බව රවි කුමුදේශ් මහතා පවසයි.

ඊයේ දිනය තුළ දී ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ මෙරට covid පාලනය සඳහා පවතින නීති පද්ධතිය හා ඒ සම්බන්ධ දැනුවත්භාවය පිළිබඳ ව විශාල ගැටළුවක් පවතින බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි .

රටට ඇතුළු වන විට සිදුකළ යුතු පරීක්ෂණ ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උවමනාවෙන්ම නවතා තිබෙන බවත් කොරෝනා ප්‍රභේද පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ උනන්දුව අඩු බවත් මෙම හෙයින් corona අසාදිතයන් රටට ඇතුල් වීමේ ඉඩකඩ වැඩි වී තිබෙන බවත් රවි කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදීය .

ගුවන් තොටුපළ තුළ දිනකට PCR පරීක්ෂණ පන්දහසක් කළ හැකි පරීක්ෂණාගාර දෙකක් පවතින මොහොතක විශාල වශයෙන් මෙරටට කොරෝනා ආසාදිතයින් ඇතුළු වන බවත් ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ද ඉන්දියානු ජාතිකයා මෙරට ඇතුළු වීම පිළිබඳ ව සෞඛ්‍යය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා තොරතුරු නොදැන ප්‍රකාශ නිකුත් කරන බව ද රවි කුමුදේශ් මහතා පවසයි.

එන්නත්කරණය නොකළ පුද්ගලයන් මෙරටට ඇතුළුවීම සහ පිටවීම පිළිබඳව මෙන්ම එම ආසාදිතයින් මෙරටට ඇතුළු වූ පසු ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ වැඩපිළිවෙල පිළිබඳ ව සිදුවූ අවිධිමත්භාවය විමර්ශනය කරන ලෙස අද දිනයේදී ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

Read more

Local News