අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වී තිබෙනවා.
එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බලා තිබෙනවා.
පීවීසී බට, උණ බට, ෆෝම් මෙට්ට පාවෙන ආධාරක ලෙස යොදාගනිමින් කැනාස්, සැවැන්දරා සහ හෙලිකෝනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පරීක්ෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව පරිසර විද්‍යාඥ රනෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දෙනවා.
පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදු වෙනවා. එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම, ජලය මත යැපෙන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වනවා.
ජලය මතුපිට අලංකරණය ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභයක්.
ඒ අනුව බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.



