ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවේ 77 වන සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.
ඒ කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී.
උත්සවය භූමියට පැමිණි ජනාධිපතිවරයා ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සමග සුහද කතාබහක නිරත වීමෙන් අනතුරුව සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිතව නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනය නැරඹීමට එක් වුණා.
චිත්‍ර ශිල්පී රවීන්ද්‍ර දිසානායක මහතා කළ නිර්මාණයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
“ගුවන් සේවා ඉතිහාසය හා ගමන් මඟ”, ” සිවිල් ගුවන් සේවා නියාමන කාර්යභාරය සහ කොවිඞ් – 19 හමුවේ සිවිල් ගුවන් සේවාව ඉටුකළ මෙහෙවර” සහ සිවිල් ගුවන් සේවා ප්‍රවර්ධනය අලළා කෙටි වීඩියෝ දර්ශන තුනක් සැමරුම වෙනුවෙන් නිර්මාණය කර තිබුණා.
සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ උන්නතියට දැක්වූ දායකත්වය අගයමින් ගුවන් සේවා ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයන් පස්දෙනෙකුට, කොවිඞ් වසංගතය හේතුවෙන් පාසල් වසා තිබූ කාල පරිච්ජේදය තුළ අන්තර්ජාලය ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සංවිධානය කළ තරඟයකින් ජයග්‍රහණය කළ සිසුන් දහසක් සංකේතවත් කරමින් තිදෙනෙකුට සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ තවත් කිහිපදෙනෙකුට සම්මාන ජනාධිපතිවරයා අතින් පිරිනැමුණා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා විසින් ජනාධිපතිගේ පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් පිළිගන්වනු ලැබුවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍යාංශ ලේකම්වරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, එස්. හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ගුවන් තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් සහ අධිකාරියේ සේවක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.



