තෙල් ඉල්ලා ප්‍රදේශ කිහිපයක ජනතාව නොසන්සුන්

Share

දින ගණන් පැය ගණන් ජනතාවට ඉන්ධන පෝලිම් වල රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට පටන් අරන්.

ඉන්ධනහල් කිහිපයකම ඊයේ දිනත් නොසන්සුන්කාරී තත්වයන් ඇති වූ බව අපට වාර්තා වුණා.

දින හතරකට පසු ඊයේ රාත්‍රී 9ට පමණ බණ්ඩාරගම ඉන්ධන පිරවුම්හලට පෙට්‍රල් ලීටර් හයදහස් හයසීයක ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

අලුයම එකයි තිහ වන විට ඉන්ධන ලබා දීම අවසන් කිරීමත් සමඟ පෝලිම්වල රැඳී සිටි ජනතාව ඉන්ධන ඉල්ලා ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

යුධ හමුදාව පැමිණ තත්වය පාලනය කිරීමට පියවර ගත් අතර යුධ හමුදා නිලධාරීන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉතිරි වූ ඉන්ධනවලින් රුපියල් දහසක ප්‍රමාණයකට ජනතාවට ඉන්ධන ලබාදීමට කටයුතු කළා.

මේ අතර මඩකලපුව පාරේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හල අසල ඉන්ධන ඉල්ලා පිරිසක් ඊයේ පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

එහිදී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර පොලිසිය පැමිණීමෙන් අනතුරුවයි පිරිස පාලනයට පියවර ගත්තේ. මෙහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News