ඉන්ධන නැතිව රටම උණුසුම්

Share

ඛනිජ තෙල්, සංස්ථාවේ වෙබ් අඩවියේ, ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් පිළිබඳව තොරතුරු දැක්වෙනවා.

මේ නිසාම අදාළ ඉන්ධන පිරවුම්හල්වලට ගොස් දිගු පෝලිම්වල රැඳී සිටීමට ජනතාව කටයුතු කරන්නේ ඉන්ධන ගන්න බලාපොරොත්තුවෙන්.

නමුත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙන්නේ නැති නිසා ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට පටන් අරන්.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ තවමත් කිලෝමීටර් හත, අට දිග ඉන්ධන පෝලිම්.

දින ගණන් සති ගණන් ජනතාවට ඉන්ධන ගන්න පෝලිම්වල තමන්ගේ කාලය ගෙවන්න සිදු වෙලා. ප්‍රදේශ කිහිපයකම ජනතාව ඉන්ධන ඉල්ලා කලහකාරී ලෙස හැසිරුණු සිදුවීම්ද අපට වාර්තා වුණා.

ගාල්ල පෙට්ටිගලවත්ත ඉන්ධන පිරවුම්හලට ඊයේ දින ඉන්ධන ලැබෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියේ පළ කර තිබුණා. මේ හේතුවෙන් ජනතාව අලුයම සිට පෝලිමේ රැඳී සිටියා. කෙසේ වෙතත් රාත්‍රී අටට පමණ ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරීත්වය ජනතාවට දැනුම් දී ඇත්තේ ඉන්ධන තොග පැමිණ නැති බවයි.

මේ හේතුවෙන් ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරුණා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියට අනුව නෙළුම්දෙණිය ඉන්ධන පිරවුම්හලට ඊයේ දිනය තුළ ඉන්ධන ලැබෙන බවට පළ කර තිබුණා. නමුත් රාත්‍රී එකොළහ වන විටත් එම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලැබී තිබුණේ නැහැ.

මේ හේතුවෙන් නුවර කොළඹ ප්‍රධාන මාර්ගය නෙළුම්දෙණිය මංසන්ධියෙන් අවහිර කරමින් විරෝධතා නිරත වීමටයි ජනතාව කටයුතු කළේ.

පිරිස පාලනය කිරීමට පොලීසියද පැමිණියා.

Read more

Local News