රට තුළ මේ වන විට මතුවී ඇති මූලික ප්‍රධානතම ගැටලුව වී තිබෙන්නේ ඉන්ධන අර්බුදය.
ඉන්ධන අර්බුදය හා සමානම ගෑස් අර්බුදයත් මේ වන විට රටේ සෑම ජන කොට්ඨාශයකටම දැඩි බලපෑමක් එල්ල කරමින් ජීවිත අඩාල කරමින් පවතිනවා. එවන් වූ මොහොතක රටේ මූලික ප්‍රශ්න දෙක විසඳන්නට කටයුතු නොකරමින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා වෙනුවට පැලැස්තර විසඳුම් දමමින් ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කටයුතු කිරීම රටේ ජනතාව තව තවත් ආගාධයට දැමීමක් පමණයි.
ජනතාව මාස ගණනක් අව්වේ වැස්සේ පින්නෙ තබමින් ජීවිතයේ දුෂ්කර ක්‍රියා කරන්නට ජනතාවට ඉඩහැර මේ වන විට පාලකයින් දේශපාලඥයින් සිදුකරමින් සිටින්නේ ව්‍යවස්ථා සංශෝධන නැට්ට අල්ලාගෙන දිව්‍යලෝකේ යාම පමණයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවුණා. පවතින වත්මන් අර්බුද පිළිබඳව සහ විසි එක්වන සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමටයි ජනාධිපතිවරයා ඊයේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් හමුවුනේ.
විසි එක්වන සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ දින සඳහන් කළා. මේ අතර අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ විසි දෙවන සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.
එසේනම් කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ විසි එකටද, විසි දෙකටද, විසි එක සහ විසි දෙක අතර ඇති වෙනස කුමක්ද? නංගි පෙන්වා අක්කා දීමක්ද මේ පාලකයින් යළිත් සිදුකර තිබෙන්නේ. රජය මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ යුතුමයි.