අදත් රට පුරා ඉන්ධන පෝලිම්, ඉන්ධන නැව තාම මුහුදේ. හිඟය වැඩි කර ගාණ වැඩි කරයිද?

Share

ඊයේ එන්න තිබුණු ඉන්ධන නැව අදත් නැහැ. සෑම විටම ඉන්ධන හිඟය උග්‍ර වෙනවා. ඒ සමඟම රෑට මිල වැඩි කරනවා. නැව පරක්කු කරලා පෝලිම් තවත් දික් කරලා අද රෑට හරි හෙට රෑට හරි ආයි තෙල් මිල වැඩි කරන්නද මේ හදන්නේ?

ඇත්තටම ඉන්ධන කියන්නේ මේ වෙලාවේ වහා ගිනි ඇවිලෙන සුළු දියරයකටත් වඩා පුදුම මාෆියාවක් ක්‍රියාත්මක ජාවාරමක් කිව්වොත් නිවැරදියි. හිතූ හිතූ ආකාරයට ඉන්ධන මිල ඉහළ දැමීමත් ජාවාරමක්. එසේම ගෙවන්න ඩොලර් නැතුව ඉන්ධන නැව් ගෙනල්ලා මුහුදේ තියාගෙන ප්‍රමාද ගාස්තු ගෙවන එකත් ජාවාරමක්.

සිපෙට්කෝ එකේ සමහර සේවකයින්ගේ අතිකාල විතරක් ලක්ෂ දෙක තුනක් වෙනවා. ඒ වැටුප් සඳහා වන වියදමත් අපේ පෙට්‍රල්, ඩීසල් ලීටරයකටමයි එකතු වෙන්නේ. ඒකත් ජාවාරමක්.

හදිසි මිලදී ගැනීම් කියන්නේ ලොකුම ජාවාරම. දැන් ඇත්තටම බලධාරීන්ගේ පැත්තෙන් මේ ජාවාරම් සියල්ලම ක්‍රියාත්මකයි. ඊට අමතරව ඉන්ධන පිරවුම්හලට ඉන්ධන යවන එක තවත් ජාවාරමක් බවට පත්වෙලා. බලධාරීන් ඉන්ධනත් එක්ක අංක එකේ ජාවාරමක්. පොඩි පොඩි මිනිස්සුත් පුංචියට පුංචියට ජාවාරම පටන් අරන්. සමහරු පැය හත, අට ඉඳලා ෆුල් ටෑන්ක් ගහනවා. ගෙදර ගිහිල්ලා එළියට අදිනවා.

බ්ලැක් මාර්කට් එකේ පෙට්‍රල් ලීටරයක් රුපියල් අටසීයත් එක්දහස් දෙසීයත් අතර මුදලකට දැන් අලෙවි වනවා. දැන් ඒකත් මහා පරිමාණ ජාවාරමක් බවට පත්වෙමින් තිබෙනවා.

ඕනෑම භාණ්ඩයක් ජාවාරමක් බවට පත්වෙන්නේ ඉල්ලුමට අනුව සැපයුම නැති වුණාම. අපිට මේ ආණ්ඩුවට මතක් කරන්න තියෙන්නෙත්, මොන සලාක ගැහුවත්, ගෙන් ගෙට හමුදාව දැම්මත් ආණ්ඩුව ජාවාරම් කරනකොට, පොඩි පොඩි මිනිස්සුත් පුළුවන් හැටියට ජාවාරම් කරන බවයි.

ජාවාරම නතර කරන්න නම් ඉන්ධන සුලභ කරන්න වෙනවා. මේ අතර මිල සූත්‍රය අනුව වහාම ඉන්ධන මිල අඩු කළ යුතු බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රකාශ කළේ.

Read more

Local News