අයහපත් කාලගුණයෙන් කඳුකරයට දැඩි බලපෑම්

ඊයේ දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ පහත් බිම්වල පිහිටි වතු පාසල් ගණනාවක් ජලයෙන් යටවීම නිසා දැඩි අලාභ හානි සිදුව ඇති බවද වාර්තා වනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක පස් කඳු හා ගල් පෙරලීම් සිදුව තිබෙනවා.

එම මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානය අසල සිදුවූ විශාල නායයෑමකින් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයේ එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තව දුරටත් විවෘත කර තිබෙනවා.

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ සෙන්ටික්ලේයාර් දියඇල්ලේ ජල මට්ටම විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් කොත්මලේ ඔයේ ජල මට්ටම ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඩෙවෝන් දියඇල්ල ඇතුළු උඩරට දිය ඇලිවල ජල මට්ටම විශාල ලෙස ඉහළ යමින් තිබෙන බවයි වාර්තා වන්නේ. පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පවුල් අටසිය පනහකට අයත් සාමාජිකයින් තුන්දහස් අටසිය හැත්තෑවක් අවතැන් වී තිබෙනවා.

Previous articleQR ඉන්ධන ලබා දීම සාර්ථකව ඉදිරියට
Next articleකොවිඩ් රෝගීන් තවදුරටත් ඉහළට