ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 71 යි – සංවත්සර සැමරුම අද

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනුයි මෙවර සංවත්සරය සමරනු ලබන්නේ. ඒ මහරගම තරුණ සේවා සභා ශාලාවේදී.

එක්දහස් නවසිය පනස් එක, සැප්තැම්බර් මස දෙවනදා, මෙරට දේශපාලන ඉතිහාසයේ තවත් මං සලකුණක් සනිටුහන් වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භයත් සමඟයි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අඩිතාලම සකස් වුණා. ඔහුට සහය පළ කිරීම සඳහා කොළඹ නගර ශාලාවට පැමිණි හතළිස් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් මෙය සමන්විත වුණා. ඔවුන් විවිධ ජනවර්ගවලට අයත් සාමාජිකයින් වීම, මෙහි කැපී පෙනෙන ලක්ෂණයක්. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුනේ. එක්දහස් නවසිය පනස් නවය වසරේ බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය බිඳ වැටීමකට ලක් වුණා. කෙසේ වෙතත් එක්දහස් නමසිය හැට ජූලි මාසයේ පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට දේශපාලන ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණයක් ලබා ගත්තා.

ඒ සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ පළමු අගමැතිනිය ලෙසටද ඉතිහාසගත වෙමින්. එක්දහස් නමසිය හැට හතර වසරේ දෙසැම්බරයේදී රාජාසන කතාව පරාජයට පත් කිරීමට විපක්ෂය ගත් උත්සාහයත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ වැටීමකට ලක් වුණා. නමුත් ඉන් නොනැවතුණු සිරිමාවෝ බණ්ඩාරනායක එක්දහස් නමසිය හැත්තෑවේදී සමගි පෙරමුණ රජය බිහි කරගනිමින් සිය දේශපාලන ගමන් මඟෙහි තවදුරටත් ගමන් ගත්තා. එක්දහස් නමසිය හැත්තෑ හත වසරේ පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන එකසිය හතළිහක් එනම් හයෙන් පහක බලයක් ලබා ගත්තා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවුණේ ආසන අටක් පමණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් පොදුජන එක්සත් පෙරමුණ නම් සන්ධානයක් පිහිටුවා ගනිමින් එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට කටයුතු කළේ ඉන් වසර ගණනාවකට පසුවයි. ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස එක්දහස් නමසිය අනූ හතර වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන් මග වෙනස් කිරීමට කටයුතු කළා. ඉන් අනතුරුව දෙදහස් හතර වසරේදී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරයා බවට පත්වුණා. දෙදහස් පහළව වසරේ මෛත්‍රිපාල සිරිසේනගේ ආගමනයත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මුහුණුවරකින් සිය ගමන් මග ආරම්භ කළා.

ඒ එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමත් සමඟයි. මේ වන විටත් පක්ෂයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයි. ඒ අනුව ඔහුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද සිය හැත්තෑ එක්වන සංවත්සර සැමරුම සංවිධානය කර තිබෙනවා. ඒ ”අපේකමට පණ දෙමු අභියෝග අතට ගමු. යුග මෙහෙවරට උර දෙමු” යන්න තේමා කරගනිමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ එක් වන සැමරුම් උළෙල පැවැත්වෙන්නේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී.

Read more

Local News