මහ රැජිනගේ දේහය හොලිරූඩ්ස් මාලිගය වෙත රැගෙන එයි

Share

වසර හැත්තෑවකට අධික කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ එලිසබත් මහරැජිනගේ අවසන් කටයුතු එළඹෙන දහනම වනදා පෙරවරු එකොළහට සිදු කෙරෙන බවට ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා. අවසන් කටයුතු සිදු කෙරෙන්නේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී. මේ වන විට මහ රැජිනගේ දේහය රාජකීය නිවස වන හොලිරූඩ්ස් මාලිගයේ තැන්පත් කර තිබෙනවා. ඒ රාජකීයන්ට දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

ඊයේ දින ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට පැය හයක කාලයක් ගෙවා රැගෙන ආ රැජිනගේ දේහයට මහ මග දෙපස දහස් ගණන් ජනතාවගෙන් හිමිවූයේ නොමද ගෞරවයක්.

හෙට දින එඩින්බරෝහි ශාන්ත දේවස්ථානයෙහි පැය විසි හතරක කාලයක් රැජිනගේ දේහය තැන්පත් කෙරෙනු ඇති. එහිදී මහජනතාවට දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමිවනවා. ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ගුවන් යානයකින් දේහය ලන්ඩනයේ බකිංහම් මාලිකය වෙත රැගෙන යාමට නියමිතයි.

ඒ මහ රැජිනියගේ දියණිය වන ඈන් කුමරියගේ ප්‍රධානත්වයෙන්. මේ අතර එළඹෙන දහනම වනදා රාජකීය අවමංගල්‍යට සහභාගී වන ජනතාවට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මහ රැජිණියගේ රාජකීය අවමංගල්‍යට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණීමට අපේක්ෂිත බවයි වාර් තා වන්නේ. එළඹෙන දහනම වන දින පෙරවරු හයයි තිහ දක්වා පැය විසි හතරක කාලයක් මහජනතාවට දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමිවනු ඇති. එම කාලය තුළ වසා දැමූ රැජිණියගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාව තුළ කැටෆල් ලෙස හඳුන්වන උස් වේදිකාවක් මත තැන්පත් කරනු ලබනවා.

ඒ අනුව රැජිනට අවසන් ගෞරව දැක්වීමට එන ජනතාවට ඇති උපදෙස් මාලාව මෙසේයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන බැවින් පළමුව තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතු බව එම උපදෙස් මාලාවේ දැක්වෙනවා.

එසේම රැජිනට අවසන් ගෞරව දැක්වීමට එන එක් පුද්ගලයෙකුට බොහෝ විට දිනකටත් අධික කාලයක් රැඳී සිදුවන බවද මෙම උපදෙස් මාලාවේ සඳහන්. එසේම කුඩා දරුවන් සහභාගී කරගන්නවා නම් ඒ පිළිබඳව දෙවරක් සිතිය යුතු බවද උපදෙස් මාලාවේ අන්තර්ගත වනවා. එක් අයෙකුට ළඟ තබා ගත හැක්කේ එක් බෑගයක් පමණයි.

එයද ඉතා කුඩා ප්‍රමාණයේ බෑගයක් විය යුතුයි. එසේම තමාට අවශ්‍ය ආහාරපාන නිවසෙන් රැගෙන ආ යුතු බවත්, මාලිගයට ඇතුළු වීමට ප්‍රථම ඒ සියල්ල පරිභෝජනය කළ යුතු බවත්, නැතහොත් බැහැර කළ යුතු බවත්, උපදෙස් මාලාවේ සඳහන් වනවා. එසේම ප්ලාස්ටික් හෝ වතුර බෝතල් රැගෙන ඒම තහනම්.

රැජිනගේ දේහය ඡායාරූප ගැනීමද තහනම් වනවා. ජංගම දුරකථන නාද නොකරන ලෙසටත්, ජනතාවට රජය දැනුම් දී තිබෙනවා.

Read more

Local News