“ජාතික සභාව” ගැන යෝජනාව අද විවාදයට

Share

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත “ජාතික සභාව” නමින් හදුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව අද( 20 වැනිදා ) පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා  විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුුමතිය ලබා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 

කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (14)  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත. සැප්තැම්බර් 09 වැනි දින නිකුත් කරන ලද න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ද මේ වන විට “ජාතික සභාව” පිළිබඳ යෝජනාව ඇතුළත් කොට තිබේ.   අද සිට 23 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර  23 වැනි සිකුරාදා හැර සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. හෙට (21 වැනිදා ) “රජයේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව” පිළිබද රජය විසින් ගෙනෙන සභාව කල් තැබීමේ යෝජනාවකට අනුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය. 

සැප්තැම්බර් 22 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 12.30 දක්වා  ශ්‍රි ලංකා රූපවාහිනි  සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතව ඇත. අනතුරුව ප.ව 1.00 සිට ප.ව 4.30 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ විවාදයට ගැනීමට නියමිතව තිබේ. 

ඉන්පසු ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්කර ඇති අතර ප.ව 4.50 සිට ප.ව 5.30 දක්වා  විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට  අනුව විවාදය පැවැත්වීමට ද තීරණය වී ඇත. 

 සැප්තැම්බර් 23 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා කාලය දෙවැනි එළිසබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටත් ‍ප.ව 1.00 සිට ප.ව 5.30 දක්වා කාලය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරල මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටත් ‍මෙහිදී තීරණය වී තිබේ. 

Read more

Local News