රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 215 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 215 වන දිනයයි. යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක පැවැත්වූ ජනමත විචාරණය අදින් අවසන්.

රුසියානු විදේශ ඇමති සර්ජි ලබ්රෝව් පැවසුවේ, ජනමත විචාරණය පැවැත්වූ ප්‍රදේශ 04 හි බලය නැවත ලබා ගැනීමට කටයුතු කළහොත් න්‍යෂ්ටික අවි භාවිතා කිරීම අනිවාර්යබ් වන බවයි.

මෙම ප්‍රකාශය ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව පවසන්නේ, රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කළහොත් රුසියාවට තීරණාත්මක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි.

යුක්‍රේනය තුල රුසියාවේ න්‍යෂ්ටික ප්‍රහාරයක් මතුවීමේ අවදානම අනපේක්ෂිත ලෙස වර්ධනය වෙමින් පවතින බව අමෙරිකානු විද්‍යාඥන්ගේ සංගමය අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව ඔවුන් පවසන්නේ කුමන හෝ මොහොතක න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් පාලනය කල නොහැකි මට්ටමකට ලඟා විය හැකි බවයි.

ඒ අනුව රුසියාව සහ ඇමෙරිකාව අතර මේ කියන ආකාරයේ කෙටි න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් මිලියන 09 කට අසන්න ජනතාවකට ජිවිත අහිමි වනු ඇති.

එසේම පලනය කරගත නොහැකි මට්ටමේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් සිතා ගත නොහැකි අයුරින් ජිවිත අහිමි විය හැකි බවට අමෙරිකාව සිදුකල නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත.

මේ අතර ලක්ෂ 03 ක හමුදා බලමුළු ගැන්වීමට පුටින් කල නියෝගයෙන් පසු එරට ජනතාව රුසියාවෙන් පලායමින් සිටිනවා.

ඒ අනුව මේ වන විට රුසියානුවන් 17,000ක් පමණ පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විටත් දේශසීමා ආසන්නයේ දහස් සංඛ්‍යාත ජනතාවක් තම රටින් පලා යාමට කටයුතු කරමින් සිටිනවා.

කෙසේ වෙතත් රුසියානු රජය පවසන්නේ හමුදාවට බැඳීමට අකමැත්ත පල කරමින් රට හැර යන රුසියානුවන් අත්අඩංගුවට ගැනීමට නීතියක් ඉදිරි දින කිහිපය තුල සම්මත කරන බවයි.

යුක්‍රේනය සඳහා සිවිල් ආධාර වශයෙන් ඩොලර් මිලියන 457.5 ක් ලබාදීමට ඇමෙරිකාව එකඟ වී තිබෙනවා. එසේම නෙදර්ලන්තයද යුක්‍රේනයේ හමුදා බලය වැඩි කිරීමට සිය සහය ලබා දීමට එකඟ බව පවසා තිබෙනවා.

මේ අතර ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක කොන්ත්‍රාත්කරුවෙකු වූ එඩ්වඩ් ස්නොඩන්ට රුසියානු පුරවැසිභාවය ලබා දීමට පුටින් කටයුතු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

Read more

Local News