නොරොච්චෝලේ ජාතික පද්ධතියට එක් කිරීම කල් යයි

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කරන දිනයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නිහාල් වීරරත්න ප්‍රකාශ කළේ බලාගාරයේ පරීක්ෂණ කටයුතු අවසන් කර නැති බවයි. ජනන යන්ත්‍රයේ පූර්ණ පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව ජාතික පද්ධතියට එක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවැනි ජනන යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිත බව ද විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජනන යන්ත්‍රය මගින් මෙගා වොට් තුන්සීයක් උත්පාදනය කරන අතර ජාතික පද්ධතියට එක් කෙරෙන්නේ මෙගා වොට් දෙසිය හැත්තෑවක් පමණයි.

නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු මේ මාසය අවසන් වන තෙක් පවතින බව ද ඔහු සඳහන් කළා. මේ වන විට ගල් අඟුරු නෞකාවක් ද දිවයිනට ළඟා වී තිබෙනවා. එහි අඩංගු ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් හැටදහසක්.

නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා එක් ජනන යන්ත්‍රයකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් දෙදහස් පන්සීයක් අවශ්‍යයි. ඒ අනුව ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කිරීම සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයක් දිනකට අවශ්‍ය වනු ඇති.

දිවයිනට ළඟා වී ඇති නෞකාවේ අඩංගු ගල් අඟුරු ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ දින අටකට පමණයි.

Exit mobile version