රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 256 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 256 යි.

රුසියාව එල්ල කරන ප්‍රහාර හමුවේ මේ වන විට යුක්‍රේනයේ විදුලිබල පද්ධතියේම බිඳ වැටීම වැඩි ඈතක නොවන බවයි යුක්‍රේනය පවසන්නේ.

යුක්‍රේනයේ කියෙව්හි නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ පවසන්නේ, යුක්‍රේනයේ යටිතල පහසුකම්වලට රුසියාව තවත් ප්‍රහාර එල්ල කළහොත් කියෙව් නගරයේ ඉරණම ඉතා නරක අතට හැරිය හැකි බවයි.

මේ අතර රුසියාව සමඟ සාම සාකච්ඡා පිළිබද කොන්දේසි විරහිත එකඟතාවයකට පැමිණිය යුතු බව ඇමෙරිකාව යුක්‍රේනයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව රුසියානු ජනපති පුටින්ට කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් වැලකී සාම සාකච්ඡා පිළිබඳ සලකා බලන ලෙසයි අමෙරිකාව යුක්‍රේනයට දැනුම් දී ඇත්තේ.

මේ වන විටත් බටහිර යුක්‍රේනයට ලබා දෙන යුධ ආධාර නවතා දමන ලෙස ඉල්ලීම් කරමින් ඉතාලිය පුරා විරෝධතා ක්‍රියාත්මකයි.

මෙවන් පසුබිමකයි ඇමෙරිකාව මෙම ඉල්ලීම යුක්‍රේනයෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර, cop 27 දේශගුණික සමුළුව අමතමින් ඊජිප්තු ජනාධිපති ඉල්ලීම් කර ඇත්තේ, යුක්‍රේන යුද්ධය වහා අවසන් කරන ලෙසයි.

කෙසේ වෙතත්, රුසියාව පවසන්නේ සාම සාකච්ඡා සඳහා තමන් සූදානම් බවයි.

නමුත්, මෙය එම මොහොත නොවන බවයි රුසියාව ප්‍රකාශ කර ඇත්තේ.

මේ සම්බන්ධව යුක්‍රේන ජනපති පවසන්නේ මෙවන් අදහසක්,

” අපට යුද්ධය අවසන් කිරීමට අවශ්‍යයි. නමුත් අවකාශය සහ අවස්ථාවත් මේ වෙද්දී වෙනස් වෙලා. රුසියාව කරන කියන දේ පිලිබඳ කිසිදු විශ්වාසයක් තියන්න බැහැ. මම හිතන්නේ ඔවුන් සාම සාකච්ඡා සඳහා සුදානම් නැති බවයි. කාටවත්ම මේ පිලිබඳ විශ්වාස කරන්නත් බැහැ”

මේ අතර රුසියානු හමුදාව යුක්‍රේනයේ චර්නිව් කලාපයට එල්ල කරන ප්‍රහාර තිව්‍ර කර තිබෙනවා.

ඒ අනුව එම දේශසීම කලාපයෙන් ඉවත්ව යන ලෙස යුක්‍රේන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අමෙරිකානු පුරවැසියෙකු නැගෙනහිර යුක්‍රේනයේදී මියගොස් තිබෙනවා.

ඒ අනුව යුද්ධය ආරම්භ වූ පසු යුක්‍රේනයේදී මිය ගිය 06 වන අමෙරිකානු පුරවැසියා මෙම පුද්ගලයා වනවා.

මේ අතර බටහිරින් යුක්‍රේනයට ලබාදීමට පොරොන්දු වූ ඇති නවීන ගුවන් ආරක්ෂණ පද්ධතිය යුක්‍රේනයට ඊයේ දින ලැබී තිබෙනවා.

මේ අතර රුසියාවට ආයුධ ලබා දුන් බවට එල්ල වන චෝදනා උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read more

Local News