Tuesday, March 19, 2024.

මැන්ඩවුස් සුළි කුණාටුව යාපනයේ සිට කිලෝමීටර් 230ක් දුරින්

Share

නිරිත දිග බෙංගාල බොක්ක හරහා හමා යන මැන්ඩවුස් සුළි කුණාටුව අද (09) පෙරවරු 08.30 ට යාපනයේ සිට කිලෝමීටර් 230ක් නැගෙනහිර ඊසාන දෙසින් ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සුළි කුණාටුව වයඹ දෙසට ගමන් කර උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණ හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් නිරිත දිග බෙංගාල බොක්ක හරහා ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරයට අද( 09) රාත්‍රියේ ඇතුළ්විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් උතුරු, උතුරුමැද, නැගෙනහිර , ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට පැයට කිලෝමීටර් 60-70 ක තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම යටතේ උතුරු හා නැගෙනහිර වෙරළ තීරයේ ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං සහ අධික වර්ෂාවත් සමග මුහුදු රළ ඉහළ යා හැකි බවත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව, පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 – 2.5 දක්වා ඉහළ යා හැකි බවද නිවේදනය කරයි.

Read more

Local News