ජාත්‍යන්තර කීර්තිධර මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් අද (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපතිතුමා සිය ජන්ම දින සුබපැතුම් පිළිගැන්වීය.
අනතුරුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසමින් සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඒ මහතා වෙත නිදුක් නිරෝගි සුවය ප‍්‍රාර්ථනා කළේය.
දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිතුමා පසුගියදා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී.
යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිතුමා අතින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙත පිළිගැන්විණි.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.