මිහින් ලංකා නඩුවෙන් සජින් වාස් නිදහස්

Share

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී රජයට රුපියල් මිලියන 883 පාඩුවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට චෝදනා එල්ල වුණා.

ඒ අනුව එම චෝදනාවෙන් සජින් වාස් ගුණවර්ධන නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සජින් වාස් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතාවයක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මෙම තීන්දුව ලබා දුන්නා.

මෙම නඩුව පවරා ගෙන යාමට නොහැකි බවට මීට පෙර මූලික විරෝධතාවයක් මතු කළ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට කියා සිටියේ මේ හා සමාන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු තිබූ අතර එම නඩුවෙන් විත්තිකරු නිදොස්කොට නිදහස් කර තිබෙන බවයි.

එසේ නිදොස් කරන ලද විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අල්ලස් කොමිසම ගත් තීරණය නීතියට පටහැනි බවත්, මෙම නඩුව පවරා ගෙන යාමට නොහැකි බව තීන්දු කොට විත්තිකරු නිදහස් කරන ලෙසත් මූලික විරෝධතාවය තුලින් ඔවුන් ඉල්ලා තිබුණා. එම මූලික විරෝධතාවය පිළිගනිමිනුයි විත්තිකාර සජින් වාස් ගුණවර්ධන නිදහස් කිරීමට මහාධිකරණය තීරණය කළේ.

Read more

Local News