සෙංගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

Share

සෙංගල්ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

ආණමඩුව පල්ලම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි සෙංගල්ඔය අමුණ ගංවතුරට හසුව කැඩී යාම හේතුවෙන් ගොවි පවුල් 500 ක් පමණ මහත් පීඩාවට පත්ව සිටිති.

දැදුරුඔය හරස් කරමින් ඉදිකර ඇති මෙම අමුණේ වම් හා දකුණු ඉවුරු කැඩී ගොස් ඇති අතර ඇලේ පතුළද පළල් වී තිබේ.

මේ හේතුවෙන් හැරවුම් ඇල මාර්ගය හරහා ජලය ගලා නොයෑමේ තත්ත්වයක් උද්ගතව තිබේ. මේ තත්ත්වය තුළ පුරන්ව ගොස් ඇති කුඹුරු ඉඩම් ඇතුළු ගොවි බිම් ප‍්‍රමාණය අක්කර දහස් ගණනකි.

මෙම තත්ත්වය පිළිබඳ අවදානය යොමු කරමින් සෙංගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීමට  පියවර ගෙන තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් අනුව කි‍්‍රයාත්මකවන මෙම ව්‍යාපෘතියේ මෙහෙයවීම් කටයුතු සිදු කරන්නේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයයි.

සෙංගල්ඔය හරස් කරමින් අමුණක් බැද හරස් ඇල මාර්ගය හරහා කිලෝමීටර් 10 ක් දුරට ජලය ගෙන යාමට සැලසුම් කර තිබේ. එමෙන්ම දැදුරුඔය අමුණ බැදීම ඇතුළු සමස්ථ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 1000 ට ආසන්නයි. ව්‍යපෘතියට අදාළව ව්‍යාපෘති කාර්යාලයක් ස්ථාපිත කිරීමටද පියවර ගෙන තිබේ.

Read more

Local News