කුවේට් අවුරුදු සිරි

Share

කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ සංවිධාන සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුහ්‍රහයෙන් සංවිධානය කළ අලුත් අවුරුදු උත්සව දෙකක් එරට ක්‍රීඩාංගන දෙකකදී පවත්වා තිබුණා.

පසුගිය 12 දින ශ්‍රී ලාංකික අවමංගල්‍යාධාර අරමුදල සහ සමාජ සේවා සංගමය ” පිලිප් අබාසියා ” ප්‍රදේශයේ ක්‍රීඩාංගනයේදීත්, කුවේට් – ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය ඉකුත් 19 දින ” අබුහලීෆා සහීල් ” ප්‍රදේශයේ ක්‍රීඩා පිටියේදීත් මෙම අවුරුදු උත්සව පවත්වා තිබුණි.

අවුරුදු උත්සව පැවැත්වූ දින කුවේට් රාජ්‍යයේ සේවකයින්ට නිවාඩු දිනයක් වන සිකුරාදා දින යොදා ගෙන තිබූ අතර, මෙම දිනවල කුවේට් රාජ්‍යයේ පවතින සෙල්සියස් අංශක 47 තරම් වූ ඉහළ උෂ්ණත්වය ද නොතකා, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් දහසක් සංඛ්‍යාත පිරිසක් මෙම උත්සවය සහභාගී වී තිබුණා.

මෙම උත්සව දෙකෙහිම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුවේට් රාජ්‍යයෙහි රැදී සිටින ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් පැමිණ සිටියේය.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට වාසය කරන ශ්‍රී ලාංකික සිසුන් සදහා දහම් පාසැලක් පවත්වා ගෙන යනු ලබන අතර, එම සිසුන් සහභාගී වන තූර්යවාදන කණ්ඩායමක් සහ නර්තන කණ්ඩායමක් ද පවත්වා ගෙන යනු ලබයි.

එමෙන්ම එරට වාසය කරන ශ්‍රී ලාංකික සේවකයින්ගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් ද පවතින අතර, මෙවැනි උත්සව අවස්ථාවල නිවේදන කටයුතු කිරීම සදහා එරට සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බැවින්, මෙම අලුත් අවුරුදු උත්සව සදහා ඔවුන්ගේ සහභාගීත්වය ද හිමි වී තිබුණි.

කුවේට්හි වාසය කරන ශ්‍රී ලාංකික පවුල්වල දරුවන්ට සහ එරට සේවය කරමින් රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට, තම ශ්‍රී ලාංකික සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, හෙළ ගැමි ක්‍රීඩා පිළිබඳව හදුන්වා දීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවවල පැවැත්වෙන සියලුම ක්‍රීඩා ඉසව්වලින් සමන්විත වන ආකාරයට මෙම උත්සව දෙක ද සංවිධානය කර තිබීම විශේෂත්වයක්.

මෙම උත්සවවලින් අනතුරුව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත සංගීත කණ්ඩායම, ශ්‍රී ලංකාවෙන් පැමිණි ගායක ගායිකාවන් පිරිසකගේ ද සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංග දෙකක් ද පැවැත්වීය.

Read more

Local News