විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීමට අදාල අභිලාෂ කැඳවීමේ නිවේදනය(EOI) අත්හිටුවා ටෙන්ඩර් කැඳවීමට අමාත්‍ය ටිරාන් අලස් තීරණය කර තිබෙනවා.
ඊට අදාල කටයුතු සඳහා විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කිරීමටත් ඒ අනුව, රටේ පවතින ආර්ථික තත්ත්වය හා අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන අලුතින් ටෙන්ඩරයක් කැඳවීමටත් අමාත්‍යවරයා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රීකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇති බව වාර්තා වනවා.
‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීමට අදාලව අභිලාෂ කැඳවීමේ නිවේදන(EOI) කැඳවා තිබූ අතර එහිදී ඊට ඉදිරිපත්වූ බොහෝ අභිලාෂ ප්‍රකාශකරුවන් එම අභිලාෂ කැඳවීමේ නිවේදනයේ පැවති යම් යම් තාක්ෂණික දුර්වලතා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණිලි කර තිබුණා.
ඒ අනුව, අදාල අභිලාෂ කැඳවීමේ නිවේදනය අහෝසි කර සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ ටෙන්ඩර් කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඩොලර් මිලියන 15 ක් පමණ වැයවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.
එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහා ද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බව ද සඳහන් කළා.



