ලන්ච් ෂීට් වෙනුවට යුද හමුදාව මගින් කෙසෙල් කොළ ලන්ච් ෂීට්

ලන්ච් ෂීට් ගැටලුව වෙනුවට යුද හමුදාව මගින් මුළු රටටම කෙසෙල් කොළ ලන්ච් ෂීට් සැපයීමේ දැවැන්ත ව්‍යාපෟතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙතෙක් ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක කර නොමැති මෙම කෙසෙල් කොළ ලන්ච් ෂිට් ව්‍යාපෟතිය යුද්ධ හමුදා කෘෂිකර්ම අංශය මගින්ම පරීක්ෂණ කර සොයා ගන්නා ලද සාර්ථක ව්‍යාපෘතියක් වෙයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ යෝජනාවකට අනුව හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ අංශය මගින් මේ වන විට කෙසෙල් කොළ ලන්ච් ෂීට් තැනීමට අවශ්‍ය පරීක්ෂණ අවසන් කර ඇති අතර එම පරීක්ෂණවලට අනුව සකස් කළ ලන්ච් ෂීට් කාලයක් කල් තබා ගත හැකි වන පරිදි සකස් කර තිබේ.

වස විස නොමැති සෞඛ්‍ය ආරක්ෂිත මෙන්ම ආහාර රසය වැඩි කරන සුවදකින් යුත් කෙසෙල් කොළ වගාව මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස ඇති කර එම කෙසෙල් කොළ ලන්ච් ෂීට් ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇත.

ඉතා කෙටි කාලයකින් කෙසෙල් කොළ ලන්ච් ෂිට් පාරිභෝගිකයන්ට ලබා දීමට මේ වන විටත් ක‍ටයුතු යොදා තිබේ.