‘ආසියාන්’ සංවිධානය ඉදිරියට ගෙන යාමට සහාය දෙනවා – ජනපති

Share

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන්” සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ‘ආසියාන්’ සංවිධානයේ ඉදිරි දැක්ම සමඟ එකඟ වන අතර එම දැක්ම ඉදිරියට ගෙන යාමට ද පූර්ණ සහාය දෙන බවයි කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති 56 වන “ආසියාන්” දින සැමරුම් උත්සවයේදී ඔහු සඳහන් කළේ.

1967 අගෝස්තු 08 වන දින, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්‍යවරු පස් දෙනෙක්ගේ අත්සනින් යුතුව තායිලන්තයේ බැංකොක්හි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) පිහිටුවා ගත් අතර අද වන විට එය බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕ‍සය, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 10ක් සාමාජිකත්වය දරණ අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස එය පුළුල් වී තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද සඳහන් කළා.

“ආසියාන් (ASEAN) සංවිධානයේ 56 වන සංවත්සරය වෙනුවෙන් මගේ සුබ පැතුම් පිරිනමනවා. මෙම සංවිධානය සෙමින් නමුත් ක්‍රමික සහ පුළුල් අනාගතයක් සමඟ ලෝකයේ විශාලතම ආර්ථික හවුල්කාරිත්වවලින් එකක් ලෙස වර්ධනය වී ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. ආසියාව තුළ ඔබේ ක්‍රියාවලිය පහසු කටයුත්තක් නොවූවත් ඔබේ සාර්ථකත්වයේ කතාව නම් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වීමයි. “

Read more

Local News