මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා නව යාන්ත්‍රණයක්

Share

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මසක් තුළදී ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවයි පළාත් ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු සමඟ පැවති හමුවක දී ඔහු සඳහන් කළේ.

පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද සඳහන් කළා.

“අද මම ඔබ සියලුදෙනාව කැඳවනු ලැබුවේ පළාත් සභා ක්‍රමයේ පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මධ්‍යම රජයේ පරිපාලන ක්‍රමය පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ අප සාකච්ඡා කළ යුතුයි.

ඇතැම් අවස්ථාවල ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම එකම ආකාරයේ සේවාවන් ලබාදීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් කාණු කැපීම සහ විදුලි කණු සිටුවීම හා මාර්ග ඉදිකිරීම පෙන්වා දිය හැකියි. එලෙස කටයුතු කිරීමේ දී විශාල මුදල් නාස්තියක් සිදු වෙනවා. එසේ නම් මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. ඒ සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මාසයක් ගත වීමට පෙර ඒ සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා.”

Read more

Local News