නිවෙස් හා ආයතන බිඳ දේපල සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර සැකකරුවන් තිදෙනෙකු ඊයේ (23) වැලිකඩ පොලිස් වසමේ ඔබේසේකරපුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන්ගෙන් සිදුකල ප්රශ්න කිරීමේ දී වැලිකඩ, වැල්ලම්පිටිය හා බොරැල්ල යන පොලිස් වසම්වල සිදුකල දේපල සොරකම් කිරීම් 05 ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන අතර සොරකම් කරන ලද ලැප්ටොප් යන්ත්ර 02ක්, විදුලි පංකා 02 ක්, විදේශිය මත්පැන් බෝතල් 03ක්, පිත්තල පහනක්, ගෑස් සිලින්ඩරයක්, රන් කරාබු ජෝඩු 03ක්, රන් පංචායුධයක් හා ක්රීඩා භාණ්ඩ කිහිපයක් සොයාගෙන අදාල සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35හා 45 යන වයස්වල පසුවන රාජගිරිය හා සිරිපුර යන ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.



