චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී Shen Yiqin ඇතුළු දුත පිරිස ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට සහ රජයට සිය ස්තූතිය පිරිනැමීය.

එසේම සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය සහ වරාය නගරය මේ වන විට ආයෝජන සඳහා සූදානම්ව පවතින බවද සඳහන් කළා.

එක් තීරයක් – එක් මාවතක් වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ්‍රි ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබාදෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින් සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

චීන – මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද චීනයේ අවධානය යොමුව ඇතැයි විශේෂ නියෝජිතවරිය මෙහිදී පැවසුවා.

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ තිබෙනවා.

Previous articleවාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
Next articleඅඹු සැමි යුවලක් බස් රථයකින් ඇදවැටෙයි – කාන්තාව මරුට