සරම්ප එන්නත් ලබාදීමේ ප්‍රගතිය 83%ක්

Share

දිස්ත්‍රික්ක 09ක වයස මාස 06ත් 09ත් අතර දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහනේ 83%ක සමස්ථ ප්‍රගතියක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

ඊයේ (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති වයස මාස 06ත් 09ත් අතර දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහනෙහි පසුවිපරම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවා.

මේ ඔස්සේ ළමයින් 30,455ක් ආවරණය කිරීමට බලාපොරොත්තු වූ බවත්, ඉන් 25,286ක් දැනටමත් ආවරණය වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

යම් ප්‍රදේශවල කුඩා ළමුන්ට සෙම්ප්‍රතිශ්‍යාව, උණ සෑදීම ආදී කාරණා නිසා 5000ක පමණ ප්‍රමාණයක් පැමිණීමේ අඩුවක් දක්නට තිබුණු බවද ඔහු සදහන් කළා.

කෙසේ වුවත් ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙලට අනුගත නොවී සිටින්නන්ද එන්නත් ලබාගැනීමට කටයුතු කිරීම විශාල ජයග්‍රහණයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඉදිරි සති 03 තුළදීත් අතිරේක සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීමට බලාපොරොත්තු වන බවත්, ඒ තුළින් 83%ක පවත්නා ආවරණය තවත් ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

Read more

Local News