ඊයේ(17) දින දහවල් තෙල්දෙණිය පොලිස් වසමේ බඹරගල ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය පිරිසක් දියේ ගිලී ඇති බවට තෙල්දෙණිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගොස් සිට ඇති අතර, මොවුන් සිව් දෙනාම දියේ ගිලී තිබෙනවා. එක් පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, මහනුවර පොලිස් ජිවිතාරක්ෂක ඒකකය, මාබේරියතැන්න ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලී මියගොස් සිටි තරුණයින් තිදෙනාගේ මෘත ශරීර සොයා ගෙන ඇතැයි වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 18, 20 හා 21 වයස්වල පසුවූ වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෘත ශරීර තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තෙල්දෙණිය පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



