ගුවන් හමුදාවෙන් තැන්නේයාය දරුවන්ට ලැබුණු අමතක නොවන තෑග්ග

Share

මෙවර ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් තැන්නේයාය ප්‍රාථමිකයේ දූ දරුවන්ට අමතක නොවන ගුවන් සවාරියක්
මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ “Dreams Take Flight” විශේෂ වැඩසටහනක් මොණරාගල බඩල්කුඹුර තැන්නේයාය ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් උදෙසා සංවිධානය කරන ලදී.
පසුගිය ඔක්තෝබර් 09 සහ 10 යන දිනවල පැවැති මෙම දෙදින සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයකින් කොළඹ හා කළුතර ආශ්‍රිතව විශේෂ ගුවන් සවාරියක් විඳගැනීමට මෙම විද්‍යාලයේ දරුවන් සමත් විය.
තවද දෙමහල් බස් රථයකින් කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් වරාය නගරය (Port City Colombo) සහ නෙළුම් කුළුණ වැනි අගනුවර ප්‍රධාන සන්ධිස්ථාන නැරඹීමටද ‘Excel World’ විනෝද උද්‍යානයේදී සතුටු වීමටද අවස්ථාවන් රැසක් හිමි වූ අතර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් යානා මෙහෙයුම් නිරීක්ෂණය කිරීමටද දරුවන්ට විශේෂ අවස්ථාවක් හිමි විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කළ මෙම “Dreams Take Flight” විශේෂ වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ අනුමැතියෙන්, ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ නිළධාරිතුමාගේ උපදෙස් පරිදි, සේවා වනිතා ඒකකයේ සභාපතිනී ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරිණි.

Read more

Local News