චීනයේ Zhuque-2E රොකට්ටුවෙන් චන්ද්‍රිකා 10ක් සාර්ථකව අභ්‍යවකාශයට

Share

චීන අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් Zhuque-2E Y4 රොකට්ටුව මගින් චන්ද්‍රිකා 10ක් සාර්ථකව අභ්‍යවකාශය වෙත යොමු කර තිබේ. වයඹදිග චීනයේ Dongfeng වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන පර්යේෂණ කලාපයෙන් ඊයේ (14) පස්වරු 7.40ට මෙම රොකට්ටුව ගුවන්ගත කර ඇත. එහිදී අදාළ චන්ද්‍රිකා 10 ඒවාට නියමිත කක්ෂ වෙත සාර්ථකව ස්ථානගත කර ඇති අතර, මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වූ බව චීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ. මෙම චන්ද්‍රිකා අතරින් අටක්, ADAspace සමාගම විසින් සංවර්ධනය කරන ලද ‘Star Compute’ ව්‍යාපෘතියේ දෙවැනි චන්ද්‍රිකා සමූහයට අයත් වේ.
පෘථිවියේ හිරු උදාවන හෝ හිරු බැස යන ප්‍රදේශ ආසන්නයෙන් ගමන් කරන කක්ෂයක  ක්‍රියා කිරීමට නිර්මාණය කර තිබෙන මෙම චන්ද්‍රිකා, අති නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විතය. ඉහළ කාර්යසාධනයක් සහිත පරිගණක පද්ධති, චන්ද්‍රිකා අතර සහ චන්ද්‍රිකා හා පෘථිවිය අතර අධිවේගී ලේසර් සන්නිවේදන උපකරණ මෙන්ම අඩු ආලෝක තත්ත්වයන් යටතේ ඡායාරූප ලබාගත හැකි කැමරා ද ඊට ඇතුළත් බව ADAspace සමාගම සඳහන් කරයි.
කෘත්‍රිම බුද්ධිය සඳහා අභ්‍යවකාශය පදනම් කරගත් දැවැන්ත පරිගණක යටිතල පහසුකම් ජාලයක් නිර්මාණය කිරීම ‘Star Compute’ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත. ඒ අනුව, චන්ද්‍රිකා 2,800කින් සමන්විත අභ්‍යවකාශ පරිගණක ජාලයක් ස්ථාපිත කිරීමට ADAspace සමාගම සැලසුම් කර තිබේ.

Read more

Local News