අහසේ මැවුණු “අභ්‍යවකාශ ජෙලිෆිෂ්”

Share

නාසා ආයතනය (NASA) වෙනුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත භාණ්ඩ සැපයීම සඳහා SpaceX සමාගම විසින් සිදු කළ 35 වැනි වාණිජ මෙහෙයුම (CRS-35) අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව, එය නැරඹීමට පැමිණි ජනතාවට අතිශය විස්මිත හා දුර්ලභ දර්ශනයක් දැකගැනීමට අවස්ථාව ලැබුණි. මෙම අපූරු දසුන බොහෝ දෙනා හඳුන්වනු ලැබුවේ “අභ්‍යවකාශ ජෙලිෆිෂ් (Space Jellyfish)” යන නමිනි.

මෙම සංසිද්ධිය ඇති වූයේ Falcon 9 රොකට්ටුව ඉහළ වායුගෝලය හරහා ඉහළට ගමන් කරන විටය. එහිදී රොකට්ටුවේ එන්ජිමෙන් පිටවන ප්‍රසාරණය වන පිටාර වායු වලාකුළ මතට උදෑසන සූර්යාලෝකය පතිත විය. එහි ප්‍රතිඵලයක් ලෙස, පෘථිවියට ඉහළින් අහසේ දිදුලන, ජෙලිෆිෂ් සත්ත්වයකුගේ හැඩයට සමාන අපූරු ආලෝක වලාකුළක් නිර්මාණය විය.

රාත්‍රී අහසේ නිදහසේ පාවෙන මුහුදු ජීවියකු ලෙස පෙනුණත්, මෙය ඇත්ත වශයෙන්ම රොකට්ටුවෙන් පිටවන රස්නය අධික වායු සහ ඉහළ වායුගෝලයේ පවතින අතිශය තුනී, සීතල වායු ස්තර අතර සිදුවන භෞතික අන්තර්ක්‍රියාවක ප්‍රතිඵලයකි. සූර්යයා ක්ෂිතිජයට ඉහළින් උදාවීමට මොහොතකට පෙර, පෘථිවියේ පහළ ප්‍රදේශ (රොකට්ටුව දියත් කළ ප්‍රදේශය) තවමත් අඳුරේ පවතින අවස්ථාවක, අධික උසක පවතින රොකට්ටුවේ පිටාර වලාකුළට සූර්යාලෝකය පතිත වීම නිසා එය මෙලෙස දීප්තිමත්ව දිස්වේ.

ස්පේස් එක්ස් (SpaceX) හි මෙම සාර්ථක දියත් කිරීම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අත්‍යවශ්‍ය ආහාර, උපකරණ සහ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන ලදී.

Read more

Local News