2017 ලෝක ළමා දිනය වෙනුවෙන් අගමැතිගේ සුභපැතුම් පණිවුඩය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2017 ලෝක ළමා දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ සුභපැතුම් පණිවුඩය,

අද ළමා ලොව යනු අප මව්බිමේ හෙට දවසයි. ළමා ලොව පිළිබඳව වඩාත් අවබෝධයෙන් දරුවන්ගේ සුරක්ෂිත බව සම්බන්ධව වඩ වඩාත් අවධානය යොමු කිරීම කාලීනව ඉතාම වැදගත් ය. ළමා මනස තේරුම් ගනිමින්, ඔවුන්ට ආදරණීයව සලකමින්, බාහිර සමාජයෙන් මෙන් ම පවුල තුළින් ඒල්ලවන විවිධ පීඩාවන් හමුවේ නිසි රැකවරණය ලබා දෙමින්, ජීවිත අභියෝගයන්ට මුහුණ දෙන්නට දරුවන් ශක්තිමත් කරමින් අපි ඔවුන් රැක බලා ගත යුතු වෙමු.

”මාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු  – සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු”  මෙවර ලෝක ළමා දින තේමාව සමස්ත සමාජයට ඇරයුම් කරන්නේ ළමා ලොව සුරක්ෂිත කිරිමේ ඒ මහඟු කාර්යභාරය වෙනුවෙනි.

දරුවා සියලු ආකාරයේ ආපදා හා අපයෝජනවලින් මුදාගැනීම උදෙසා දෙමව්පිය, වැඩිහිටි අප සැම මහත් වගකීමෙන් කටයුතු කළ යුතු වෙමු. රජය, ජනමාධ්‍ය, ආගමික නායකයින් හා ප්‍රජාව යනාදී සෑම පාර්ශවයක්ම එම වගකීමේ හා වගවීමේ කොටස්කරුවන් බැව් සඳහන් කළ යුතුම ය.

ළමා වියේ ආදරණීය බව, නිර්මල අහිංසකත්වය, නිර්මාණශීලීත්වය අගයමින්, දරුවන්ගේ දියුණුවට අතදෙමින්, නිවැරදි මඟ පෙන්වමින් යහපත් හෙට දවසක් කරා ඔවුන් රැගෙන යන්නට මෙවර ලෝක ළමා දිනය පන්නරයක් වේවායි හිත සිතින් සුබ පතමි.

 

 

 

 

Exit mobile version