කෘෂිකර්මයත්, ගොවි ආර්ථිකයත් නගා සිටුවීමට පුළුල් වැඩකොටසක් ඉටුවෙමින් පවතිනවා -ජනපති

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රුපියල් මිලියන 16,000 ක් වැය කරමින් ඉදි කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (24) පොල්පිතිගමදී එක්වෙමින් ප‍්‍රකාශ කළේ,

ගොවි ජන ජීවිත සමග ගැටගැසුණු දුක්ඛිත කතාවන් අවසන් කරමින් ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීම උදෙසා පුළුල් වැඩකොටසක් අද ඉටු වෙමින් පවතින බවයි.

මේ අතර එල්ලංගා පද්ධති මගින් සබැඳුණ ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සනිටුහන් කිරීම ද අද දින පොල්පිතිගම කුඹුකුලාව වැව පරිශ‍්‍රයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රටේ ගොවී ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වූ ජල ගැටලුවට ද අද වේගවත් වැඩපිළිවෙළක් ඔස්සේ විසඳුම් ලැබෙමින් තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා ගොවියාට වී සඳහා ඉහළ මිලක් ලබාගැනීමට වී අලෙවි මණ්ඩලය විසින් අද ප‍්‍රධාන දායකත්වයක් ලබාදෙමින් තිබෙන බව කියා සිටියේය.

වැවකට වැවක් සම්බන්ධ කෙරෙන එල්ලංගා වැව් පද්ධතිය ශ‍්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණ ක‍්‍රමවේදයක් වන අතර එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මගින් ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස එය හඳුනාගෙන තිබේ.

අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, එස්. බී. නාවින්න, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහ වයඹ පළාතේ මහජන නියෝජිතයින් රැසක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Exit mobile version