රා මැඳීමට ගන්නා පොල් හා තල් ගස් සඳහා බලපත්‍ර

Share

රා මැඳීමට යොදගනු ලබන පොල් හා තල් ගස් සඳහා බලපත්‍ර ලබාගත යුතු බවට සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

කෘත්‍රීම රා ඇතුළු අනෙකුත් නීති විරෝධී රා නිෂ්පාදන වැළැක්වීම සඳහා සකස් කොට ඇති සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ඉදිරිපත් වූ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (11) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

වර්ථමානයේ දී කිතුල්, තල් සහ පොල් යන ගස්වලින් රා බැඳීම් හෝ රා බෑමට බලපත්‍ර ලබාගත යුතු නොවේ. මේ හේතුවෙන් ස්කාගාර, රා තැබෑරුම්, බෝතල් රා නිෂ්පාදනාගාර හා විනාකිරි නිෂ්පාදනාගාර වෙත ලැබෙන රා ප්‍රමාණය අධීක්ෂණය කිරීමේ ගැටලුවක් මතු වී ඇත.

එය කෘත්‍රීම රා ඇතුළු අනෙකුත් නීතිවිරෝධී රා නිෂ්පාදන ඉහළ යාමට හේතු වී තිබේ. ඒ අනුව මෙම රා නිෂ්පාදනය නියාමනය කිරීමේ අරමුණින් මෙම බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

Read more

Local News