මුරලි දේශපාලනඥයින්ගේ පොලු ගලවපු හැටි මෙන්න

බහුතර ජනතාව දේශපාලකයින්ගෙන් අපේක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වැනි දේශපාලන කරුණු නොව තම මූලික අපේක්ෂාවන් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ප්‍රකාශ කරයි.

බීබීසි සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර ඔහු මෙම අදහස් පළ කර තිබේ.

උතුරේ මෙන් ම දකුණේ දේශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බව මුරලිදරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු මුරලිදරන් මෙසේ පැවසීය.

“මිනිස්සු මට බනියි. මේකට ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු දෙවනුවට බලන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු.

දෙමළ දේශපාලකයන් කතා කරනවා අයිතිය ගැන, ඊට පස්සේ ඉස්සර වෙච්ච් දේවල් ගැන, ඊට පස්සේ කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මට තේරෙන්නේ නැහැ මොනවද ඒ කියලා, මේ පවුල් ගැන බලන්න එක මන්ත්‍රී කෙනෙක් නැහැ.

අතීතයේ දෙපැත්තෙන් ම වැරදි වුණා, මම කියන්නේ නැහැ සිංහල මිනිස්සු ඔක්කොම වැරදියි කියලා, ඒකේ 5% ක් විතර දේශපාලන ගේම්වල අයුතු ප්‍රයෝජන ගත්තා, ඒකෙන් මුළු රටේ ම ප්‍රශ්න ඇති වුණා, ඊට පස්සේ ප්‍රභාකරන් හැදුව දෙමළ මිනිස්සු ගැන පෙනී සිටින එක, ඒක ඉස්සෙල්ලා කරා, පස්සේ එයත් මිනී මරන්න පටන් ගත්තා, එයා ත්‍රස්තවාදියෙක් වුණා.

දෙපැත්තට ම හානි වුණා, යුද්ධයකදී අහිංසක මිනිස්සු මැරෙනවා, නැත්නම් ඒකට යුද්ධයක් කියන්නේ නැහැ, එහෙම නැත්නම් සමාකමීව සාකච්ඡා කරලා බේරගන්න ඕනේ.

මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය, ඒගොල්ලන්ට අයිතියි මේ රට, කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ.

නමුත්, මම දක්ෂතා පෙන්වද්දී මුළු රට ම සිංහල, දෙමළ, මුස්ලිම් ද කියල බලලා ද මට සහයෝගය දුන්නේ?, මගේ දක්ෂතාවට මේ රටේ පුරවැසියෙක් නිසා මට උදව් කරා.

මේගොල්ලෝ බොරුවට කියනවා අපි මේකට පෙනී සිටිනවා සිටිනවා කියලා, ඇත්තට ම සාමාන්‍ය මිනිහ ගැන බලල ද නැහැ.

මම නම් කියන්න කැමති නැහැ,ඕගොල්ලො ම හිතාගන්න, මේ රටේ ජනාධිපති හැටියට හිටපු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිස්සු ගැන බැලුවේ.

අපි පාර්ලිමේන්තුවට යවන්නේ රට පාලනය කරන්න, දුන්නේ වැඩක් කරන්න, ඒක බෑ කියනව නම් දාලා යන්න ඕනේ, නිදහසට කරුණු කියන්න බැහැ, මට පන්දු යවන්න බැරි නම් මම නිදහසට කරුණු 25,000ක් විතර කියනවා, නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ.

දුගී දුප්පත් මිනිහව උඩට දාන එක තමයි පළවෙනි ප්‍රශ්නය වෙන්න ඕන.“

“කරන්න බැරි නම් දාල යන්න ඕනේ, තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ, දැන් බලන්න මෙයා කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ජනාධිපති කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ඕක තර්කයක් විතරයි, විසඳුමක් නැහැ.”

“මේක නීතියෙන් බේරගන්න ඕනේ, මොනව හරි ප්‍රශ්නයක් තියෙනව නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ල නඩුවක් දාලා බේර ගන්න. මේකට මිනිස්සුන්ව අදින්න එපා,” වර්තමානයේ රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය ගැන තම අදහස් එක් කරමින් මුරලිදරන් තම අදහස් පැවසීය.

“ඔය මිනිස්සු ගේනවනේ ඔයා හිතනව ද මිනිස්සු නිකම් කතා කරන එක බලන්න එනවා කියලා, ඕනෙ නම් පක්ෂෙක 10 ක් විතර ඉඳියි ඒකට, අනික් අය මම දන්න විදිහට කීයක් හරි සල්ලි දීලා, කෑම එකක් දීලා බස් එකෙන් ගෙනල්ලා, බස්සන කට්ටිය තමයි ගොඩක් ඉන්නේ,” කොළඹ පවත්වන දේශපාලන විරෝධතාවලට ජනතාව පැමිණීම ගැන ද මුරලිදරන් දැක්වුයේ එවන් අදහසකි.

“එදා වේල හොයාගන්න බැරිව ඉන්න මිනිස්සු ලක්ෂ ගණන් ළමයින්ට කන්න දෙන්නේ නැතුව කොළඹට ඇවිල්ල කෑගහගහ ඉඳියි ද? මම නම් ඒක පිළිගන්නේ නැහැ,” ඔහු කියා සිටියේය.

 

blob:https://emp.bbc.com/c886a07c-6d9a-4cee-912d-cd950faacd1d

Exit mobile version