ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ – Update

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම ආරම්භ කර අැත.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.

නඩු විභාගය ආරම්භ කරමින් දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් මහතා විසින් මෙම අවස්ථාවේ කරුණු ඉදිරිපත් කරමින් සිටියි.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු පෙත්සම්කරුවන් දහතුන් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත.

පසුගිය නොවැම්බර් 13 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ද මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කළේය.

Exit mobile version