දිළිදුකම පිටුදැකීමේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනපති ප්‍රධානත්වයෙන්

Share

ඊයේ (20) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දිළිදුකම පිටුදැකීමේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ශක්තිමත් සහ ගෞරවාන්විත ආර්ථීකයකින් හෙබි තිරසාර ශ්‍රී ලංකාවක් තුළ සියලු ආකාරයේ දිළිදුකම මුලිනුපුටා දැමීමේ ජනාධිපතිතුමාගේ දැක්ම අනුව ක්‍රීයාත්මක වන වැඩසටහන ලෙස ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දියත් කෙරේ.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට අදාළ ජාතික වැඩපිළිවෙළ එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණු අතර, 2017 වර්ෂයට අදාළව ගම් දහසක වැඩපිළිවෙළ සංකේතාත්මකව ක්‍රියාවට නැංවීම, යාවත්කාලීන කරන ලද ගැමිදිරිය ගම් 2040 ග්‍රාමශක්ති වැඩසටහන යටතට එක්කිරීම, දිළිදුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ පුද්ගලික අංශ සහයෝගීතාවය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ද සිදු කෙරිණි.

 

2018 වර්ෂය ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය බවට නම් කරමින් මෙරට කෘෂිකර්මාන්තය සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරනු ලබන කැපවීම ඇගයීමට ලක්කරමින් ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන පදනමේ ශ්‍රී ලංකා නියෝජිත හියුබට් බොයිරාඩ් මහතා විසින්  ජනාධිපතිතුමා වෙත විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමීම ද මෙහිදී සිදුවිය.

මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතු‍ළු පළාත් මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙන්ම දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

Read more

Local News