අමාත්‍ය මණ්ඩල තීරණ 2017-10-24

Share

2017-10-24 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලයේ (Secretariat for Coordinating Reconciliation Mechanisms -SCRM ) කාලය දීර්ඝ කිරීම
ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා සම්බන්ධ තීරණ වැඩසටහන් හා ක්‍රියාවලි ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය (SCRM) 2015 වර්ෂයේ සිට වර්ෂ දෙකක කාලසීමාවක් සඳහා පිහිටුවන ලදී. අදාළ අමාත්‍යාංශ හා අනෙකුත් රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජය ආදී පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය කරමින් සහ සංහිඳියා ක්‍රියාදාමයන්ට පහසුකම් සැලසීම මඟින් එම කාර්යාලය සිය කාර්යභාරය ඉටු කරමින් සිටියි.
සංහිඳියාව ගොඩනැංවීම සඳහා මෙරට සාමාන්‍ය ජනතාව දැනුම්වත් කරමින් සැලසුම්ගත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, එම කාර්යාලයේ කාලසීමාව 2019‑03‑31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සුරැකුම්පත් විනිමය පනත – 2017
ප්‍රාග්ධන වෙළඳ පොළ මුහුණ දෙන වර්තමාන අභියෝගවලට ගැළපෙන පරිදි 1987 අංක 36 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, දියුණු රටවල සාර්ථකව ක්‍රියාත්මක වන කොටස් වෙළඳ පොළ නියාමන ආයතන විසින් අනුගමනය කරනු ලබන නියාමන මූලධර්ම හා ප්‍රමිතීන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සඳහා යෝජිත ‘සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත’ සකස් කරනු ලැබ තිබේ.
ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ නේපාලයේ විදේශ කටයුතු ආයතනය (IFA) අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ රාජ්‍යතාන්ත්‍රික, විදේශ ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර සබඳතා යන අංශයන්හි නිලධාරින්ට හා එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තොරතුරු, විශේෂඥ දැනුම හා පුහුණු වැඩසටහන් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ නේපාලයේ විදේශ කටයුතු ආයතනය (IFA) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් පුළුල් කර ලීමටත්, දෙරටේ නැඟී එන නායකයින්, නිලධාරින් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර අන්තර් සබඳතා ගොඩනඟා ගැනීමටත් මෙමඟින් ඉඩ සැලසෙනු ඇත. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීමටත්, ඉන් අනතුරුව එම ගිවිසුම ඵලදායීව ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය පියවර ගැනීමටත් විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කුණ්ඩසාල – හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම
කුණ්ඩසාල – හාරගම ජලසම්පාදන ක්‍රමය විදේශීය අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එසේ වුවද, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම මත පාතහේවාහැට හා කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මාන 14ක ජීවත් වන පවුල් 6,000ක පමණ පිරිසක් ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති වීම නිසා මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සමෘද්ධි ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් රැසක් ජීවත් වන අනුරගම, පුබුදුගම, මුදුණකඩේ ඇතුළු ගම්මාන 14ක ජනතාවගේ ජල අවශ්‍යතා සපුරා ලීම සඳහා, පොදු සංවර්ධන කටයුතු වෙනුවෙන් ගොඩ නඟා ඇති සමෘද්ධි සංවර්ධන අරමුදලේ මුදල් යොදවා ගනිමින්, කුණ්ඩසාල – හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වත්තේගම සමෘද්ධි ප්‍රජාමූල බැංකු ගොඩනැඟිල්ල ඉදි කිරීම
සමෘද්ධි මහා සංගම් 332ක් සහ සමෘද්ධි ප්‍රජාමූල බැංකු ශාඛා 1,074ක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වේ. මෙම ‍බැංකු ශාඛා පවත්වා ගෙන යනු ලබන ගොඩනැඟිලිවල පහසුකම් වැඩිදියුණු කිරීම කාලීන අවශ්‍යතාවක්ව තිබේ. ප්‍රවේශ වීමට ඉතා අපහසු ස්ථානයක පිහිටි, විවිධ අඩුපාඩුකම් මධ්‍යයේ දැනට පවත්වා ගෙන යනු ලබන මහනුවර, වත්තේගම සමෘද්ධි ප්‍රජාමූල බැංකුව, ජනතාවට පහසුවෙන් සේවය සැලසිය හැකි ස්ථානයක සථාපනය කිරීමට මේ යටතේ යෝජනා වී තිබේ. ඒ සඳහා වත්තේගම පිහිටි පර්චස් 20ක පමණ ප්‍රමාණයෙන් යුතු රජයේ ඉඩම් කොටසක්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ගංවතුර ආපදා හේතුවෙන් වෙනත් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කළ යුතු පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීම
නායයාම් අධි අවදානම් කලාපවල ජීවත්වන, ආරක්ෂිත ස්ථානයක නැවත පදිංචි කළ යුතු බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගනු ලැබ ඇති පවුල් 14,860ක් සඳහා ස්ථිර නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, මේ වන විට එම වැඩසටහන දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් ක්‍රියාත්මක කෙරෙමින් පවතියි. එකී වැඩසටහනට අමතරව, 2017 වර්ෂයේ ඇති වූ ගංවතුර ආපදා හේතුවෙන් තම නිවාස පූර්ණ හානියට පත් වීමෙන් වෙනත් ආරක්ෂිත ස්ථානයක නැවත පදිංචි කළ යුතු පවුල් සඳහා ඉහත සඳහන් වැඩසටහන ක්‍රියාත්මක කළ පදනම යටතේම නිවාස ලබා දීම යෝග්‍ය බව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. ඒ අනුව ගංවතුර අධි අවදානම් කලාප වල පදිංචි නිවාස හානියට පත් වූ දිස්ත්‍රික්ක 05ක වෙසෙන පවුල් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීම සඳහා නිවාස 1,122ක් ඉදි කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලේඛනය ස්ථාපිත කිරීම පිණිස වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම
එක් එක් විශේෂඥතා සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වෙන වෙනම ලියාපදිංචි කිරීමේ ලේඛන පවත්වාගෙන යාම පොදු ජනතාවට වඩාත් ආරක්ෂිත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම පිණිස වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් ලෙස සැලකේ. මෙම කරුණ සැලකිල්ලට ගෙන රෝගී සත්කාරක සේවාවන්හි ගුණාත්මකභාවය පවත්වා ගැනීමේ අරමුණින්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලේඛනයක් (Specialist Register) පිළියෙල කිරීම සඳහා වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව සකස් කරනු ලැබ ඇති වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
‘යාපනය දිස්ත්‍රික්කයේ මීසාලෙයි උතුර, තෙන්මාරච්චි’ ප්‍රදේශයේ නව කාර්මික විද්‍යාලයක් ස්ථාපිත කිරීම
යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ගුණාත්මක තත්ත්වයේ වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ එම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන එකම ආයතනය යාපනය තාක්ෂණ විද්‍යාලය වේ. මෙහි පාඨමාලා සඳහා වර්ෂයකට අයදුම්පත් 8,000ක් පමණ ලැබෙන නමුත් තාක්ෂණ විද්‍යාලයේ පහසුකම් ප්‍රමාණවත් වන්නේ පුහුණුලාභීන් 1,500කට පමණි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මීසාලෙයි උතුර, තෙන්මාරච්චි, වලිකාමම් ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක් ස්ථාපනය කිරීමට යෝජනා වී ඇති අතර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 හා 4 මට්ටම්වල වෘත්තීය පුහුණු පාඨමාලා කිහිපයක් එමඟින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 560ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, ඉදිරි දෙවසර තුළ එම කාර්මික විද්‍යාලය ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කලුඔයේ ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
ගම්පහ දිස්ත්‍රික්කයේ කලුඔය ද්‍රෝණිය අනාගත නාගරික සංවර්ධන කටයුතු සඳහා ඉඩකඩක් පවතින ප්‍රමුඛතා ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එම ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් 2018 – 2022 වසර 05ක කාලය තුළ සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර තිබේ. එම ව්‍යාපෘතිය විදේශාධාර යටතේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙන ලදී.
ශ්‍රී ලංකාව තුළ දූෂණය මැඬ ලීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්මත කිරීම
අල්ලස් හා දූෂණ විරෝධී ආයතන සවිබල ගැන්වීම, රටතුළ ජාතික ඒකාබද්ධතාව නංවා ලීම සඳහා වන රජයේ සමස්ත වැඩසටහන ඵලදායී ලෙස සම්බන්ධීකරණය, වංචාව, අල්ලස සහ දූෂණය මැඬ ලීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ අල්ලස හා දූෂණය නිසා ශ්‍රී ලාංකික සමාජය මත ඇතිවන අසුභවාදී බලපෑම පිළිබඳ මහජන අවබෝධය නංවා ලීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ දූෂණය මැඬ ලීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක්, අදාළ නියෝජිත ආයතනවල උපදෙස් ලබා ගනිමින් සම්පාදනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රැකියා නියුක්ති බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ සේවකයින් යැවීම සඳහා කොරියානු ජනරජය සමඟ අවබෝධතා ගිවිසුම
ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් සඳහා කොරියානු ජනරජයේ රැකියා ලබා දීමේ ක්‍රියාවලියෙහි පාරදෘශ්‍යභාවය හා කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ දෙරට අතර සහයෝගිතාව සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක් පවත්වාගෙන යාම පිණිස රැකියා බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීමේ අරමුණින් කොරියානු ජනරජ‍යේ රැකියා හා කම්කරු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ රැකියා අමාත්‍යාංශය අතර වසර දෙකක කාල පරිච්ඡේදයක් සඳහා 2015 වසරේදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම, වඩාත් පාරදෘශ්‍යව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා තවත් වසර ‍02කට දීර්ඝ කිරීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඒකාබද්ධ මුද්දර නිකුත් කිරීම් වලට අදාළව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ විදේශීය තැපැල් ආයතන අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම
ශ්‍රී ලංකාව විසින් රුසියානු සමූහාණ්ඩුව සහ නේපාලය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කරනු ලැබ වසර 60ක් සැපිරීම සහ කොරියානු ජනරජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කරනු ලැබ වසර 40ක් සැපිරීම සැමරීම සඳහා සමරු මුද්දර නිකුත් කිරීමට තීරණය කර තිබේ. මෙම සමරු මුද්දර නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාව සහ නේපාලය අතර දෙරටෙහි බෞද්ධ සිද්ධස්ථාන පදනම් කරගනිමින් ද ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර දෙරටෙහි සංස්කෘතික නර්තනයන් පදනම් කරගනිමින් ද ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර ශ්‍රී ලංකාවේ ලෙන් විහාර හා රුසියාවේ එබඳු පූජනීය ස්ථානද පදනම් කරගනිමින් ද සිදු කිරීමට නියමිතය. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව සහ එම එක් එක් රටවල අදාළ තැපැල් ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නව මැතිවරණ ක්‍රමය සහ ඒ තුළ කාන්තා නියෝජනය පිළිබඳව මහජනතාව සහ සිවිල් සංවිධාන දැනුම්වත් කිරීමේ වැඩසටහන
2017 අංක 16 දරන පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මඟින් සියලු පළාත් පාලන ආයතනවල නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික පදනම සකස් කරනු ලැබ ඇත. එම සංශෝධන මඟින්‍ කොට්ඨාසයට වගකිව යුතු මන්ත්‍රීවරයෙකු බිහි කිරීමත්, සමානුපාතික නියෝජනය සහතික කිරීමත් සිදුවී ඇත. එසේ වුවද, මෙම සංශෝධන පිළිබඳව මහජන අවබෝධය තවමත් ප්‍රමාණවත් මට්ටමක නොපවතින බව පෙනී ගොස් ඇත. ඒ අනුව, පළාත් පාලන මැතිවරණ ක්‍රමයට සිදු කරන ලද සංශෝධන මඟින් හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය සහ එමඟින් අපේක්ෂිත කාන්තා නියෝජනය සහතික කිරීම පිළිබඳව මහජනතාව සහ සිවිල් සංවිධාන දැනුම්වත් කිරීමේ කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස  අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා; පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා; කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම
හදිසි අනතුරු හා වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු රෝගීන් සඳහා පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් 2015 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු යටතේ ලබා දෙන ලද ප්‍රතිපාදන යොදාගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ පළමුවන අදියරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මේ වන විට එම කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එහි දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු ද මේ සමඟම ආරම්භ කළ යුතුව ඇත.
ඒ අනුව, යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියරෙහි ඉදි කිරීම් කටයුතු, ‘සැලසුම් කර ඉදි කර දීමේ’ (Design and Build) පදනම මත, රුපියල් මිලියන 1,359.35ක බදු සහිත මුදලකට, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) හා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් (CESL) යන ආයතන වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පුත්තලම ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු හදිසි අවස්ථා මිල දී ගැනීම් (Spot Tender) යටතේ මිල දී ගැනීම
පුත්තලම ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා කඩිනමින් අවශ්‍ය ගල් අඟුරු, ක්ෂණික මිල දී ගැනීම් ක්‍රමවේදය යටතේ මිල දී ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව, ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 91.85ක් බැගින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් සපයා ගැනීම පිණිස වූ ටෙන්ඩරය, සිංගප්පූරුවේ M/s Swiss Singapore Overseas Enterprises Pte Ltd. වෙත පිරිනැමීමට අදාළව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
ඩීසල් ජෙනරේටර් 50ක්, ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ප්‍රවාහනය කොට සවි කිරීම සඳහා වන ටෙන්ඩරය
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ජනනය සිදු කරනු ලැබීමේදී ඇතැම් අවස්ථාවල උද්ගත වන ජනන ඌනතා හේතුවෙන් මුළු පද්ධතියම බිඳ වැටීමට ලක්වන හෙයින් සුළු ඌනතා අවස්ථා මඟහැරවීම සඳහා බහලුම්වල ඇසුරුම් කළ ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර 50ක් මිල දී ගැනීමට එම මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත. එසේම ඒ සඳහා අවශ්‍ය බහලුම්වල ඇසුරුම් කළ ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ද මිල දී ගැනීමට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත සඳහන් ටෙන්ඩරය M/s Sterling and Wilson Private Ltd., India වෙත ප්‍රදානය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත බලය ලබා දීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කුඩා වැව් පිළිසකර කිරීම
2015/16 වසරවල කරනු ලැබූ සමීක්ෂණයක් අනුව අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින සුළු වාරි කර්මාන්ත 10,497ක් පවතින බව හඳුනාගෙන තිබේ. එම පිළිසකර කිරීම් කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්යමණ්ඩලවල පවතින හිඟය ගැටලුවක් වී තිබේ. මෙයට පිළියමක් ලෙස කඩිනමින් අලුත්වැඩියා කළ යුතු යැයි හඳුනාගෙන ඇති, රුපියල් මිලියන 05කට වඩා පිරිවැයක් දරමින් සිදු කළ යුතු පිළිසකර කිරීම් සඳහා අවශ්‍ය ඉංජිනේරුමය ඇස්තමේන්තු සකස් කිරීම, වැඩබිම් අධීක්ෂණය යනාදී තාක්ෂණික සේවා, ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ඒ සඳහා නියමිත හැකියාවන්, සුදුසුකම් හා අත්දැකීම් ඇති බාහිර ආයතන වෙත පැවරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කනිෂ්ඨ ශ්‍රේණියේ පොලිස් නිලධාරින්ගේ විවාහක නිල නිවාස ඉදි කිරීම
කොළඹ 02, කුමාරන් රත්නම් පාරේ පිහිටි කනිෂ්ඨ ශ්‍රේණියේ පොලිස් නිලධාරින්ගේ විවාහක නිල නිවාස ඉදි කිරීම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 482.4ක බදු රහිත මුදලකට කන්ස්ට්‍රක්ෂන් මැනේජර්ස් ඇන්ඩ් ප්ලැනර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති නාවික තෙල් (MGO) සහ CST ඉන්ධන තෙල් තොග බැහැර කිරීම
හම්බන්තොට වරාය සඳහා වන අනුග්‍රාහක ගිවිසුමේ විධිවිධාන පරිදි අදාළ හිස් තෙල් ටැංකි කඩිනමින් ලබා දිය යුතු බැවින් හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 13,500ක් වන නාවික තෙල් (MGO) සහ මෙට්‍රික් ටොන් 628ක් වන IFO – 380 දරණ CST ඉන්ධන තොගය ටෙන්ඩර් කැඳවා බැහැර කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සිදු කර ඇති තරගකාරී මිල ගණන් කැදවීම අනුව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි එම ඉන්ධන තොගය ඉන්ටර්ඕෂන් එනර්ජි පෞද්ගලික සමාගම වෙත ඇමරිකානු ඩොලර් 3,220,800ක මුදලකට ලබා දීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත කළමනාකරණ මෘදුකාංග පද්ධතිය වැඩිදියුණු කිරීම
දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන බහාලුම් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය ක්‍රියාත්මක වන අතර, කලාපයේ අනෙකුත් රටවල් තම වරායන් ප්‍රමුඛ වරායන් බවට පත් කිරීම ඉලක්ක කරගනිමින් සිය පහසුකම් හා ක්‍රියාවලීන් සංවර්ධනය කිරීම හා නවීකරණය සඳහා කටයුතු කරමින් සිටී. මෙම පසුබිම තුළ දැඩි තරගකාරිත්වයකට මුහුණ දීමට කොළඹ වරායට සිදුව ඇති අතර, එහිදී කොළඹ වරාය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙහෙයවනු ලබන ජය බහාලුම් පර්යන්තය (JCT) හා සමඟි බහාලුම් පර්යන්තය (UCT) යන පර්යන්තයන්හි දැනට භාවිත කෙරෙන මෘදුකාංග පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කළ යුතුව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දැනට භාවිත කරනු ලබන පර්යන්ත කළමනාකරණ මෘදුකාංග පද්ධතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අරමුදල් භාවිත කරමින් වැඩිදියුණු කිරීමටත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස තාක්ෂණික ඇගයීම් කමිටුවක් හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ක්ෂුද්‍ර සහ ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා ‘දිවියට උදානය’ වැඩසටහන
රෙදිපිළි හා අත්යන්ත්‍ර කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහාත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා කර්මාන්තපුර වැඩිදියුණු කිරීම සඳහාත් 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. ඒ අනුව, අත්යන්ත්‍ර හා ඇඟලුම්, ආහාර නිෂ්පාදන, දැව, හස්ත කර්මාන්ත වැනි අංශවල නියැළී සිටින ගෘහස්ථ නිෂ්පාදකයින් 10,000ක් වාණිජ මට්ටමේ ව්‍යවසායකයින් බවට පරිවර්තනය කිරීමටත්, දැනුම හා නිපුණතා සංවර්ධන වැඩසටහන් මඟින් ව්‍යවසායකයින් 11,000ක් බිහි කිරීම මඟින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 11,000ක් අලුතින් ඇති කිරීමටත් හැකි වන පරිදි ‘දිවියට උදානය’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගත් අමාත්‍ය මණ්ඩලය, රජය විසින් ක්‍රියාත්මක කෙරෙන මේ හා සමාන විවිධ ණය යෝජනා ක්‍රම සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය දෙන ලදී.
නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා වඩාත් පහසුකම් සහිත වෛද්‍ය, සායනික හා සත්කාරක සේවාවක් සැපයීම
හේතුව නිශ්චිතව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 60ක දැනටමත් ව්‍යාප්තව පවතින අතර, අනෙකුත් ප්‍රදේශ දක්වා ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතී. මෙය ඉතා විශාල ප්‍රජා සෞඛ්‍ය ගැටලුවක්ව ඇති අතර, සමාජ හා ආර්ථික වශයෙන් ද ගැටලු රැසක් නිර්මාණය කර ඇත. එම ප්‍රදේශවල නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා වඩාත් පහසුකම් සහිත වෛද්‍ය, සායනික හා සත්කාරක සේවාවක් (දීර්ඝකාලීන රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාරය, දීර්ඝකාලීන පරිතාන කාන්දුපෙරණ ප්‍රතිකාරය, වකුගඩු බද්ධ කිරීම ආදී) සැපයීම අරමුණු කරගනිමින්, වකුගඩු රෝග නිවාරණ කාර්යසාධන බලකාය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අදාළ පාර්ශ්වකාරි ආයතනවල මැදිහත්වීම මත, ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව, රුපියල් මිලියන 462.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් පහත සඳහන් ව්‍යාපෘති 03 ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
* මහනුවර, වකුගඩු රෝගී සහන සත්කාරක සහ රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
* අනුරාධපුරය, ‘මෙත්සිරි සෙවණ’ වකුගඩු රෝගී සහන සත්කාර සහ රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
* ගිරාඳුරුකෝට්ටේ, වකුගඩු රෝග සම්බන්ධ සමාජ සුබසාධන ආර්ථික සවිබලගැන්වීමේ අධ්‍යාපන හා තොරතුරු කේන්ද්‍රය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
2018 වර්ෂය, ‘ආහාර නිෂ්පාදන වර්ෂය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම
සුරක්ෂිත ආහාර හා තිරසර ගොවිතැනක් අරමුණු කරගනිමින් ‘ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන – 2016 – 2018’ ආරම්භ කරන ලද අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200කට වැඩි විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට වැය කිරීමට සිදුව ඇති නිසා දේශීයව නිෂ්පාදනය කළ හැකි සෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යක්ම නිෂ්පාදනය කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු විය. එසේ වුවද, පසුගිය වගා කන්න කිහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, එම තත්ත්වය මඟහරවා ගනිමින් ආහාර නිෂ්පාදන කටයුතු නව ප්‍ර‍බෝධයකින් සිදු කිරීම අරමුණු කරගනිමින් ‘ආහාර නිෂ්පාදන සංග්‍රාම සතිය’ පසුගියදා ආරම්භ විය.
කෘෂිකර්මාන්තය මුහුණ දී ඇති ගැටලු සඳහා පිළියම් ලබා දෙමින් ඒ සඳහා වූ ප්‍රතිපත්තිමය හා තාක්ෂණික මඟපෙන්වීම ලබා දීමත්, කෘෂිකර්මාන්තයට අදාළව අපගෙන් ගිලිහී යමින් පවතින අභිමානය නැවත ළඟා කරගැනීමත්, ගොවිජනතාව මුහුණ දී ඇති අසීරු තත්ත්වයෙන් ඔවුන් මුදා ගනිමින් රටේ සංවර්ධනයේ පෙර ගමන්කරුවන් කරමින් තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟා කර ලීමත් සාමූහික ප්‍රවේශයක් යටතේ මෙමඟින් ළඟා කරගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන හවුල්කරුවන් ලෙස ඒකාබද්ධ කරගනිමින් ආහාර නිෂ්පාදන සංග්‍රාමය මෙහෙය වීමටත්, ඊට අදාළ වන පරිදි ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දෙමින් 2018 වර්ෂය, ‘ආහාර නිෂ්පාදන වර්ෂය’ ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

Read more

Local News