ජල ගැලීම් නිසා උතුරේ වැඩිම පිරිසක් පීඩාවට

Share

උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් පළාතේ පවුල් 2788 කට අයත් පුද්ගලයින් 9161 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පැවසීය.

ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ වැඩිම පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පීඩාවට ලක්ව ඇති අතර, කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසූවේ දිස්ත්‍රික්කය තුළ පවුල් 1347 කට අයත් පුද්ගලයින් 4633 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවයි.

දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව සිටින පිරිස් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 17 ක රඳවා තිබෙන අතර, රැඳවුම් මධ්‍යස්ථාන තුළ පවුල් 2034 ක් වර්තමානයේ රැඳී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසීය.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 1414 කට අයත් පුද්ගලයින් 4443 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 22 ක පුද්ගලයින් 3656 දෙනෙකු රඳවා සිටින බවද මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසීය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළද පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවද මන්නාරම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසීය.

ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සහන සැළසීම වෙනුවෙන් කිලිනොච්ච්ය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ජාවක්ද ඊයේ (22) සවස පැවැත්විය.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් මහතා,  උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්.ඉලන්ගෝවන් මහතා හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවන් පැවැත්විය.

Read more

Local News