වෛද්‍යවරුන් 800කට පශ්චාත් සීමාවාසික පත්වීම්

Share

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 800කට පශ්චාත් සීමාවාසික පත්වීම් ලිපි කඩිනමින් ලබාදෙන ලෙසට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

සීමාවාසික පුහුණුව දැනට අවසන් කර සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුතු 800 කට අධික වෛද්‍යවරුන් පිරිසකට වහාම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) තීරණය කරන ලදි.

මෙම වෛද්‍ය නිලධාරීන් විශාල පිරිසක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලට පැමිණ තමන් බදවා ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කළ අවස්ථාවේ දී එම පිරිසෙන් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යශයේ දී හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

දැනට සීමාවාසික වෛද්‍ය වරුන් ලෙස බදවා ගැනිම් නතර කර ඇති බැවින් මෙම වෛද්‍යවරුන්ට තම නියමිත පුහුණු කාලය අවසන් වුවද තවදුරටත් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරිමට සිදුව ඇත.

එම ගැටලුවට මුහුණ පෑමට සිදුව ඇත්තේ පසුගිය වසරේ මැද භාගයේ සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට පමණි.

තමන් තවදුරටත් සිමාවාසික වෛද්‍යවරුන් ලෙස සැළකීම අසාධාරණ බවත්, පශ්චාත් සීමාවාසික පත්වීම් ලිපි මෙතෙක් නොලැබීම පිළිබදවත්, පශ්චාත් සීමාවාසික වැටුප් හෝ අතිකාල දීමනා නොලැබිම පිළිබදවත් යන කරුණු ඇතුලු තවත් ගැටලු කිහිපයක් ඔවුන් පෙන්වා දි ඇත.

එම ඉල්ලීම් පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම ගැටලුව තුල මෙම වෛද්‍යවරුන් අපහසුතාවයට පත්වීම අසාධාරණ බව ප්‍රකාශ කරන ලදි.

කඩිනමින් එම වෛද්‍යවරුන්ට පශ්චාත් සීමාවාසික පත්වීම් ලිපි ලබාදෙන ලෙසත්, පශ්චාත් සීමාවාසික වැටුප් දීමනා සහ අතිකාල දීමනා ලබාදෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දෙන ලදි.

අතිකාල දිමනා සඳහා ඇති පැය 04 ක සීමාව අවශ්‍යතාවය මත මෙම වෛද්‍යවරුන් සහ ඔවුන් සමඟ පොදු කාලසටහන් වලට යොමු වන වෛද්‍යවරුන් සඳහා බලනොපවත්වන ලෙස ද අමාත්‍ය වරයා මෙහිදී ඉල්ලා සිටියේය.

Read more

Local News